අවුරුදු පහලොවක පමණ වයස පාසල් දරුවෙක් වසර 02කට ආසන්න කාලයක් තිස්සේ ලිංගිකව අපයෝජනය කළ මාරවිල පොලිස් වසමේ දේවස්ථානයක මීසම භාර පාදිලි අත් අඩංගුවට ගැනීම සඳහා මාරවිල මූලස්ථාන පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
අත් අඩංගුවට ගැනීමට සොයන සැකකාර පාදිලි මේ වන විට මීසම හැර ගොස් සැඟව සිටින බව පොලිසිය පවසයි.
මෙම පාදිලි රටින් පැන යෑමට උත්සාහයක් දරන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි ද ඒ තොරතුරු මත ඔහු රටින් පිටවීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇතැයිද පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම බාල වයස්කාර දරුවා පරබතළ ලිංගික අපයෝජනයට ලක් වෙමින් ඇති බව දැනගත් විට ඔහුගේ දෙමව්පියන් දරුවාද කැටිව පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න හමුවී මේ සම්බන්ධව අදාල පැමිණිල්ල කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ පොලිස්පතිවරයාගේ නියමයෙනි.
හොඳ අධ්‍යාපනයක් ලබා දෙන බව පවසා දරුවා දේවස්ථානයට ගෙන්වාගෙන වර්ෂ 2021 වසරේ සිට මේ වසර දක්වා ඔහුව බරපතල ලිංගික අපයෝජනයකට ගොදුරු කරගෙන ඇති බව පොලිසිය විසින් හෙළි කරගෙන ඇත.
සිද්ධියට මුහුණ දුන් දරුවාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා අවස්ථාවේ දී ඔහු තමන්ට අත් විඳන්නට සිදුවූ සියලුම පීඩාවන් පොලිසිය හමුවේ හෙළි කර තිබේ.
දරුවා අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙක් හමුවට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යයි.
මාරවිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. – ලංකාදීප