මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පිඹුරත්තෑව, පූනානි විල්ලූව, පිටාර ගැලීම හේතුවෙන් මහවැලි බී කලාපයේ නෙළුම්වැව, පන්සියතුන කලාපය, අරලගංවිල, වැලිකන්ද, රුවන්පිටිය, නාමල්ගම, අසේලපුර ඇතුළු ප්‍රදේශවල පැලගොයම ගංවතුරට යටවීමේන් කුඹුරු අක්කර දස දහස පමණ ප්‍රමාණය විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ.
මේ වනවිට පහත් බිම්වල ගංවතුර තත්ත්වය බැස ගියද වතුරෙන් යටවී තිබු ගොයම කිසිදු විටෙක යළිත් පැල නොවන බව ගොවීහු පෙන්වා දෙති.
මෙම තත්ත්වය මත මහවැලි බී කලාපයේ ගොවි පවුල් දෙදෙහස් පන්සියයකට ආසන්න පිරිසක් දැඩිව අසරණ වී ඇති අතර එම කුඹුරු යළි මෙම කන්නේ අස්වැද්දීමට කාලයක් නොපවතින බව ද ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වා දෙති.
ඇතැම් කුඹුරුවල පැලගොයම ගංවතුරට යට වී, දින දෙක තුනක් ඇතුලත එම ගංවතුර බැස යෑම හේතුවෙන් එම පැළ ගොයමට කිසිදු හානියක් නොමැති බවත්, දින පහ හයක් කාලයක් තිස්සේ ගංවතුරින් යටව පැවැති පැළ ගොයම සහ පීදීමට ආසන්නයේ පැවැති ගොයම් විනාශ වී ඇති බවත් මහවැලි බි කලාපයේ ගොවීන් පෙන්වා දෙති.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගංවතුරෙන් හානියට පත් පැලගොයම සඳහා තමන්ට කිසියම් වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතවරු සහ ගොවීහු කියති.
අප මේ පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර අරුණ නිරෝෂන් ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුවේ ගොවි සංවිධාන මට්ටමෙන් ගංවතුරෙන් හානියට පත් කුඹුරු සඳහා වන්දි මුදලක් ගෙවීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට උපදෙස් හා පත්‍රිකාවක් ලබා දී ඇති බවය.
ඒ අනුව ලබා ගන්නා තොරතුරු මත අදාළ ගොවීන්ට කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලය යටතේ වන්දි මුදලක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති බවද අරුණ නිරෝෂන් වැඩිදුරටත් කීය.
මේ වන විට මහවැලි බී කලාපයේ මාදුරුඔය කුඩාඔය පිඹුරත්තෑව ඇතුළු වැව් සහ අමුණුත් පිටාර ගැලීම හේතුවෙන් හානියට පත් කුඹුරු බිම් ප්‍රමාණය කොතෙක්ද යන්න මහවැලි කොට්ඨාස කළමනාකාරවරුන් හා ඒකක කළමනාකාරවරුන් හරහා තොරතුරු ලබාගනිමින් සිටින බවත්, වහාම ඔවුනට ද වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බවත් මහවැලි බි කලාපීය නේවාසික කළමනාකාර සුගත් විරසිංහ අප කළ විමසීමකදී පැවසීය.