ශ්‍රී ලංකාව දියවැඩියා රෝගියෙකු ලෙස සිතුවහොත් රාජපක්ෂ ආණ්ඩුව දීර්ඝ කාලයක් තිස්සේ එම දියවැඩියා රෝගියා සතුටු කරන්නට ඔහුට සීනි දී මේ වන විට රෝගියා ඉතාමත් බරපතල තත්ත්වයක සිටින බවත් අතක් පයක් නොකපා බේරාගත නොහැකි බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.
අයවැය විවාදයට සම්බන්ධ වෙමින් අදහස් පළ කළ මන්ත්‍රීවරයා පැවසුවේ දශක ගණනාවක් කල් දැමූ ප්‍රතිසංස්කරණ වසර දෙක තුනකින් කිරීමට යෑම නිසා ජනතාවට දුක් විඳින්නට සිදු වෙන බවයි. එහෙත් ජනතාවට වේදනා දෙමින්, ජනතාවගේ අත පය පමණක් නොව කඳ ද කපා දමමින්, රට බේරා ගැනීමට උත්සාහ කරන ආණ්ඩුව රාජ්‍ය ඇමතිවරු 37ක් පත් කර, ඔවුන්ගේ මයිල් ගහකටවත් හානියක් සිදුවීමට ඉඩ නොදෙන බව ද ඔහු පැවසීය.
හිටපු මහබැංකු අධිපති ඩබ්ලිව් ඒ ලක්ෂ්මන් ද ද, අර්ධ රාජ්‍ය ආර්ථික පර්යේෂණ ආයතනයක වාර්තාවක් ද ඔක්. 22 නිකුත් වූ ලෝක බැංකු වාර්තාව ද උපුටා දක්වමින් ආර්ථික අර්බුදයේ මූලාරම්භය 2004න් පසුව සිදු වූ බව ඔහු පෙන්වා දුන්නේය. එම වාර්තාවලට අනුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ, පී. බී ජයසුන්දර් හා නිවාඩ් කබ්රාල් ආර්ථික ඝාතකයින් ලෙසට සැලකිය යුතු බව ඔහු පැවසුවේය.
“දේශපාලඥයින් රටේ බංකොලොත්භාවයට වගකියන්න ඕනේ තමයි.. හැබැයි ජනතාවටත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ.. 2001 – 2003 කාලේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රට යන අතර හරි නෑ කියලා තේරුම් අරගෙන ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම් වුණා. රාජ්‍ය සේවයට බඳවා ගැනීම තාවකාලිකව නවත්තලා වැඩි සේවකයින් ඉවත් කරන්න වීආර්එස් ස්කීම් එකක් ගේන්න හැදුවා. එතකොට මහින්ද රාජපක්ෂ, ජේවීපී එක එක්ක එකතු වෙලා ජනප්‍රිය සටන් පාඨ විකුණලා 2004 දී ඡන්ද ගත්තා. 2004 – 14 කාලේදී රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ලක්ෂ තුනහමාරකින් වැඩිවුණා..
රාජ්‍ය ආයතනවල පාඩුව කෝටි ගාණකින් වැඩිවුණා. 2009-14 කාලේදී රාජ්‍ය ආයතන 109 ඉඳලා 245 වෙනකම් වැඩිවුණා. සේවක සංඛ්‍යාව් 145000 ඉඳලා 265000 වෙනකම් වැඩිවුණා.. 2006-20 කාලේ වෙද්දී රාජ්‍ය ආයතනවල පාඩුව ට්‍රිලියන 1.2ක්.. 2020 දී ජනතාවට පොරෝනදු දීලා බදු ආදායම් කපා හැරලා සල්ලි අච්චු ගැහුවා… උද්ධමනය වැඩි වුණා.. සුරංගනා කතාවලට රැවටිලා ඡන්දේ දීපු නිසයි මේ දෙවල් වුණේ.. ජනතාවට වගකීමෙන් මිදෙන්න බෑ කියලා මම කියන්නේ අන්න ඒ නිසයි.
මේ වෙද්දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප්වලට රු. බි. 857ක් වැය වෙනවා. 2021 ණය පොලිය රු. බි. 1047ක්. මේ දෙකට විතරක් රාජ්‍ය ආදායමෙන් සීයට 130ක් වැය කරන්න ඕනේ.. ඉන් පස්සේ රටේ ඉතිරි වැඩවලට ආයෙමත් ණය ගන්න වෙනවා.. 2023 දීත් ඇති වෙන්නේ මේ තත්ත්වයමයි…”
අයවැයට පක්ෂ නැතැයි පැවසූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා රාජ්‍ය සේවකයින් ගැන සේම පෞද්ගලික අංශයේ සේවකයින් පිළිබඳව ද අවධානය යොමු කරන්න යැයි පැවසීය. ආණ්ඩුවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළු ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන රැසකට ද පවතින බවත්, ආර්ථික ඝාතකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් සඳහන් කළේය.
එලෙසම රට වෙනිසියුලාවක් වීම වැළැක්වීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ද, මහජනතාව හා රජය අතර සම්මුතියක් ඇති කරමින් සියලු දෙනාටම සමානුපාතිකව සැලකීමට රජය අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැවසීය.