ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන නැනෝ නයිට්රජන් දියර පොහොරවලින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොමිස් ලබා ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී රණවක මාධ්‍ය හමුවකදී කරන ලද චෝදනාවට එරෙහිව විධිමත් පරික්ෂණයක් සිදු කරන ඉල්ලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (10) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
විපක්ෂ මන්ත්‍රීවරු විටින් විට අසත්‍ය කරුණු පදනම් කර ගෙන ආණ්ඩුවට චෝදනා කිරීම අසාධාරණ බවත්, තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කිසිදු වංචාවකට හෝ කොමිස් ලබා ගැනීමකට සම්බන්ධ නැති බවත්, ඒ නිසා තමා සමිබන්ධයෙන් පාඨලී රණවක මන්ත්‍රීවරයා සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කර ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.
“අපි ඉන්දියාවෙන් රැගෙන ආවේ නැනෝ නයිට්රජන් දියර පොහොරයි. චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ නැනෝ යුරියා පොහොර අපි ගෙනාවා කියලයි. අපි එහෙම පොහොර ලංකාවට ගෙනල්ලා නෑ. අනෙක මේ පොහොර ගෙන්වන ගණුදෙනුව විනිවිදභාවයෙන් යුතුව අපි සිදු කර තිබෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳ තොරතුරු සොයා බලන්න පුළුවන්” යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.