මනම්පිටිය නිමල් ජයරත්න
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාල මගින් වසර ගණනාවක සිට පදිංචිව සිටින ඉඩම් වලින් එහි වැසියන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය සහ දිඹුලාගල දිවුලපතාන ගම්වාසීන් 06 වෙනිදා සවස වැලිකන්ද මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලා එම කාර්යාලයේ බිම වාඩි වී විරෝධතාවය පළ කළහ.
1983 වසරේ සිට පදිංචිව සිටි තමන් ත්‍රස්තවාදී කලබල සමඟ එම ගම් අතහැර යැමෙන් පසුව 2009 වසරේ පැවැති සාමකාමී තත්ත්වයක් සමග පදිංචියට පැමිණි හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය බව ගම්වැසියෝ කීහ.
නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිසකගේ බලපෑම් සහ උවමනාවකට ඔවුන්ගේ ගවයන් තම භූමියට නිදහස් කිරීමේ අරමුණෙන් තමන් එම ඉඩම් වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කරන බවද දිවුලපතාන ගම්වාසීන් සඳහන් කළහ.
මඩකලපුව දිස්ත්‍රික්කයටත් පොළොන්නරුවටත් මායිම්ව දිවුලපතාන ගම්මානයේ අසරණව ජීවත් වන මෙම සිංහල පවුල් ඉවත් කිරීම වහාම නතර කර ගන්නා ලෙසත්, දිගින් දිගටම සිංහල ජනතාවට බලපෑම් කෙරුවහොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගෙන නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාතේ මහා සංඝරත්නයත් ජනතාව එක් කර කරමින් දැවැන්ත අරගලයක් සිදුකර බවත් මෙහිදී අදහස් දක්වමින්
මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සඳහන් කළහ.
නැගෙනහිර පළාතේ ඇතැම් පාලකයින්ගෙන් පළාතේ සිංහල ජනතාවට ඉඩම් කඩම් මෙන්ම අනෙකුත් අයිතිවාසිකම් ලබාදීමේදී දැඩි ගැටලු රැසකට මෙන්ම අසාධාරණකම් වලට මුහුණ පෑමට සිදුව ඇති බව සුමන හිමියෝ කීහ.
මෙම ගැටලු සමථයට පත්කර ගැනීමට රටේ ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයාත්, පාර්ලිමේන්තුවේ වගකිවයුත්තන් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම අවස්ථාවට අරුණපුර ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය කෘත්‍යාධිකාරී පොල්ගහආරාවේ ඤාණානන්ද නාහිමියන් සමඟ දිවුල පතාන ගම්මානයේ ගම්වාසීන් සීයකට ආසන්න සංඛ්‍යාවක් මහවැලි අධිකාරිය කාර්යාලයට පැමිණ විරෝධතාව ප්‍රකාශ කළහ.
මෙහිදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡා කර විසිඳුමක් නොලැබුණු බැවින් පිරිස පැය දෙකකට ආසන්න කාලයක් හිඳ විසිර ගියහ.







