මහර බන්ධනාගාරය තුළ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් පසුව කොවිඩ් ආසාදිත බව අද (29) තහවුරු වූ රැඳවියන් පිරිසක් තමන්ට නොසන්සුන්ව පලා යෑමට උත්සාහ කිරීමේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක් නිසා එක් රැඳවියෙක් මිය ගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට මෙසේ ප්‍රකාශ කළේය.
“ අද දින සවස් කාලයේදී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් නොසන්සුන්තාවයක් ඇති කර තිබෙනවා. මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බලය පාවිච්චි කරනවා. එහිදී එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා තියනවා.“
කැලණිය හා රාගම පොලිස් ස්ථාන මගින් පොලිස් කණ්ඩායම් 05ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මහර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීමට යොදා ඇති බවත් දැන් තත්වය පාලන වී ඇති බවත් පොලිසිය කීවේය.
මුලින්ම පසුගිය 12 වැනිදා කොවිඩ් නිසා මැරෙන්නට නොඅරින්නයි ඉල්ලමින් බන්ධනාගාරයේ වහල මතට නැගුනේ බෝගම්බර නිරොධායන කඳවුරේ රැඳවියන්ය. ඔවුන් කියා සිටියේ ඔවුන් වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කරන ලෙසය. අවශ්‍ය අවම සෞඛ්‍ය පහසුකම් ටික ලබා දෙන ලෙසය. පී.සී.ආර් ඉල්ලා රැඳවියන් පිරිසක් බෝගම්බර වහලය මතට නගිද්දී එම කඳවුරේ අටසීයකට ආසන්න රැඳවියෝ පිරිසක් වූහ.
පසුගිය 18 දා කොවිඩ් බිය නිසා පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිර මැදිරිය කඩා, පලා යමින් සිටි එක් රැඳවියෙක් තාප්පයෙන් ඇද වැටී මිය ගියේය. තවත් එක් රැඳවියෙක් බරපතල තුවාල ලැබුවේය.
එදින පලායන්නට ගොස් අල්ලාගත් රැඳවියෙක් බෝගම්බර සිර ගෙදර අසල ගසක් මතට නැගී ගසෙන් පනින බවට තර්ජනය කරමින් කොවිඩ් නිසා මිය යන්නට නොදෙන ලෙස ඉල්ලා සිරගෙදර දෙවනත් කළේය.
අද පාන්දර ද බෝගම්බර කොවිඩ් නිරෝධායන කඳවුරෙන් රැඳවියන් සිව් දෙනෙක් පලා යන්නට උත්සාහ කළේය.
මේ වනවිට බන්ධනාගාර කොවිඩ් පොකුර දහසකට ආසන්න වී ඇති අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇත.