රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ හැත්තෑ එක් දහස් පන්සීයක (21871500) ක මුදලක් වසර හතරක පමණ කාලයක් තිස්සේ වංචා කළ බව කියන නගර සභාවේ ආදායම් අංශයේ හිටපු කළමනාකරණ සහකාරවරියක වූ දේනුකා නිශාන්ති මැණිකේ නැමැති අයට එරෙහිව විදේශ ගතවීම වැලැක්වීමේ නියෝගයක් මහනුවර පොලීසිය විසින් අධිකරණයෙන් ලබාගෙන තිබේ.
වාර්ෂික ස්ථාන මාරු යටතේ පසුගිය ජනවාරි මස මහනුවර මහ නගර සභාවේ ආදායම් අංශයේ සිට පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගොස් සිට ඇති බවත් අදාළ වංචා හෙළිදරව් වන්නේ එම නිලධාරිනිය නව සේවා ස්ථානයේ සේවය කරමින් සිටියන විට බවත් විමර්ශන අංශ කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලිකගේ ඉල්ලීම මත මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු විසින් පරීක්ෂණ කමිටුවක් පත් කර එහි නිර්දේශ මත අදාළ සේවිකාවගේ සේවය අත්හිටුවා තිබේ.
මෙම නිලධාරිනිය කල් ඉකුත්ව තිබූ ඇගේ විදේශ ගමන් බලප්‍රතය දැනට සති දෙකකට පමණ ඉහත දී යාවත්කාලීන කරගෙන තිබෙන බවට ලද තොරතුරු මත ඇය විදේශ ගතවීමේ අවධානමක් පවතින බව මහනුවර නාගර සභාව මගින් කළ දැනුම් දීමකට අනුව පොලීසිය කරුණු වාර්තා කර මහනුවර අධිකරණයෙන් අදාළ නියෝගය ලබාගෙන ඇත.
මෙම නිලධාරිනිය ගේ සැමියා විදේශ ගතව සිටින බව ද වාර්තා වේ.
මහනුවර නගර සභාව මගින් අදාළ වංචාව සම්බන්ධයෙන් පොලීසියට කරන ලද පැමිණිල්ලට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස හිටපු කළමනාකරණ සහකාරවරියට දැනුම් දී ඇතත් ඇය පොලීසියට පැමිණ නොමැති බව දැන ගන්නට තිබේ.







