මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අතර සම්බන්ධීකරණ කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සමග තියුණු විවාදයක යෙදීමෙන් අනතුරුව හෘදයාබාධ තත්ත්වයක් මත දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ රෝහල් ගත කර තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂය.
ඊයේ (14) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී කමිටුවේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම නිවේදනයක් නිකුත් කළ ගුණතිලක රාජපක්ෂ මාධ්‍යවේදීන් එම කමිටු රැස්වීම තුළ සිටීනම් වහාම ඉවතවන ලෙස නිවේදනය කළේය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් මාධ්‍යවලට විවෘත නොවන්නේ කොවිඩ් සමයේ ඇතිවූ යම් සමාජ හමු සීමා කිරීමේ පදනම මතය. එහෙත් මධ්‍යම පළාතේ ඇතැම් තැන්වල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වාර්තා කිරිමට මාධ්‍යයට ඉඩ සැලසුනේය.
සිද්ධිය ඇති වන්නේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ගුණතිලක රාජපක්ෂ විසින් මහනුවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මාධ්‍යය පලවා හැරියත් දින කීපයකට පෙර පැවැති යටි නුවරදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීමේ දී මාධ්‍යවේදීන්ට එම කමිටුව ආවරණය කිරීමට ආරාධනා කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ප්‍රශ්න කිරිමත් සමගය.
වසන්ත යාපා බණ්ඩාර ගුණතිලක රාජපක්ෂගෙන් ඇසුවේ මේ ලජ්ජා නැති දෙබිඩි පිළිවෙත කුමක්දැයි පැහැදිලි කරන ලෙසය. දෙදෙනා අතර සංවාදය උණුසුම්ව පැවතිනි. අනතුරුව කමිටු රැස්වීම අතරමග නවත්වා දමා ගුණතිලක රාජපක්ෂ සිය රථයට ගියේය.
රථයට ගොඩවත්ම ක්ලාන්තවී හෘදයාබාධ තත්ත්වයක් ඇතිවූ මන්ත්‍රීවරයා නුවර ජාතික රෝහලට රැගෙන යෑමට උත්සාහ කළත් ඊයේ පැවති සෞඛ්‍ය වර්ජනය නිසා අදහස වෙනස් විය. වහාම ඔහු නුවර පිහිටි ප්‍රමුඛ පුද්ගලික රෝහලකට ඇතුළත් කෙරිනි. ඔහු දහවල් වනවිටත් රෝහලේ රැඳී සිටියේය.







