වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක් පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු කිරීම ඒ පිළිබඳ නෛතික වගකීම ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ බලතල ඉක්මවා කටයුතු කිරීමක් බවත්, සිද්ධිය සම්බන්ධව පූර්ණ වාර්තාවක් දින තුනක් තුළ ලබා දෙන ලෙසත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව මහ ජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කළ ක්‍රමවේදයන්ට අනුව බවය.
රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමත බලතලවලට යටත්ව ස්ථාන මාරුකිරීම් සඳහා බලය 2020 නොවැම්බර් 20 දිනැති අංක 2202/24 දරන අති විශේෂ ගැස්ට් පත්‍රයෙන් කොමිෂන් සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පවරා දී ඇති බවත්, එවැනි ස්ථාන මාරුවීම් කිසිවක් මෙතෙක් කොමිෂන් සභාවේ අනුමැතියට ඉදිරිපත් වී නැති බවත් , රාජ්‍ය සේවා කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත.
එවැනි නිලධාරින් ස්ථාන මාරු කිරීමේ දී කොමිෂන් සභාවේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව කොමිසම විසින් ලේකම්වරයාට අවධාරණය කර තිබේ.
එබැවින් තමන් සතු බලතල ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධව පූර්ණ වාර්තාවක් දින තුනක් තුළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝග කර ඇත.