තමන් දියණියකගේ ආදරණීය තාත්තා කෙනෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුල් වරට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළේය.
විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රිඩාංගණයේදී පැවැත්වූ කන්ද උඩරට සමගි කාන්තා සමුළුව අමතමිනි.
විපක්ෂ නායකවරයා මෙසේ කීවේය.
මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්. මටත් දියණියක් ඉන්නවා. පියෙක් වශයෙන් මගේ පරම බලාපොරොත්තුව මගේ දියණිය ලොකු මහත් වෙලා හොඳ අධ්‍යාපනයක් ලබලා රටට දේශයට ගුණවත් ශිෂ්ට සම්පන්න උගත් බුද්ධමත් පුරවැසියෙක් බවට පත් වීම.
ඒක මගේ ප්‍රාර්ථනාව. මා දන්නවා මගේ කතාව අසා සිටින හැම අම්මා කෙනෙකුගේම ප්‍රාර්ථනාවත් ඔබගේ දරුවන් ගැන තියෙන්නෙත් ඒකයි. හැම තාත්තා කෙනෙකුගෙම තමන්ගේ දූ දරුවන් ගැන තියන ප්‍රාර්ථනාවත් අන්න ඒකයි.
මම පහුගිය දවසක මගේ දියණියට මගේ බිරිඳත් සමග රෝහලට ගියා ඒ අදාල එන්නත් ලබා දෙන්න. ඒ එන්නත් ලබා දෙනකොට මම හැමදේම අහනවා. හැම දේම හොයලා බලනවා. ඒක මගේ ගතියක්. මම අහනවා මොන කාලෙට ද මේ එන්නත දෙන්නේ. මොනවට ද මේ එන්නත දෙන්නේ. මොන රැකවරණයද මේ එන්නතින් ලැබෙන්නේ. එහෙම කියනකොට මගේ දියණිය රැක බලා ගන්න ඒ ළමා රෝග විශේෂඥවරයා කිව්වා මගේ දියණියට SYNFLORIX කියන වැක්සීන් එක ගහන්න කියලා.
කමක් නෑ. අපි ඒක ගහමු කිව්වා. හැබැයි එතුමා කියනවා ඒක අපේ රටේ දරුවන්ට ගහන්නේ නැතිලු රජයේ සෞඛ්‍ය පද්ධතියේ. එතකොට මම ඇහැවා ඒ වැක්සින් එක කියක් වෙනව ද කියලා. ඒක හත් දහස් අටසීයක් වෙනවලු. හැබැයි රජයේ රෝහල්වලට යන මේ අම්මලා තාත්තලාගේ දූ දරුවන්ට මේ වැක්සීන් එක ගහන්න බෑ. ඒක අත්‍යාවශ්‍යම වැක්සීන් එකක්.
බැක්ටිරියාවක් තියනවා නිව්මෝනියා හැදෙන Streptococcus pneumoniae. කියලා. මම ඇහුවා ඩොක්ටර් මගේ දුවට කියනවා මේක ගැනීම වැදගත් කියලා. එතකොට මේ අනිකුත් අම්මලා තාත්තලගේ දුවා දරුවන්ට මේක ගහන්නෙ නැද්ද කියලා.
ඩොක්ටර් කියනවා නෑ… ඒ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ නෑ. මොකද ගාන වැඩි නිසා. ඔන්න අද අපේ රටේ තත්ත්වය. හත් දාස් අටසීයක් හොයා ගන්න පුලුවන් අම්මලා තාත්තලා තමන්ගෙ දූ දරුවන්ට පෞද්ගලික අංශයෙන් ඒ බෙහෙත අරන් ගහනවා. නමුත් මේ රටේ සුවහසක් බහුතර ජනතාවට ඒ වැඩම නෑ. මම මේ අම්මා කෙනෙකුටම කියනවා මම මේ තියන වෙනස අනිවාර්යයෙන්ම ඉවත් කරලා දේශපාලනඥයාගේ දරුවාට පෞද්ගලික ක්ෂේත්රයෙන් ලැබෙන සැලකිල්ලම රජයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ මේ රටේ බිහිවෙන හැම දුවෙකුටම පුතෙකුටම ඒ වරම ලබා දීමේ වගකිම මම බාරගන්නවා.
සජිත් ප්‍රේමදාස කීවේ තමන් මේ වේදිකාවට නැග්ගේ කිසිවෙකුට බනින්නට නොව, කාන්තාවන් මේ රටේ විඳින ප්‍රශ්නටිකට පිළිතුරු ලබා දෙන්න බවය.
තමන් කී හැම වචනයක්ම මහපොළොවේ යථාර්ථයක් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.