දිනසේන රතුගමගේ –
උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් පහ කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඊයේ (29) ආණ්ඩුකාරවරියගේ නියෝගය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ.
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සහුල් හමීඩ් මොහොමඩ් මුජහීර් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් සැප්තැම්බර් මස 12 දා එම තනතුරෙන් නෙරපා හරින ලද බවට නිවේදනයක් නිකුත් වීමෙන් පසුව සභාපතිවරයා ඔහුව යළි එම තනතුරට පත් කරණ ලෙස ඉල්ලීමක් කොට තිබුණි.
ආණ්ඩුකාරවරියගේ ගැසට් නිවේදනයට අනුව සභාපතිවරයාට මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු වශයෙන් කටයුතු කිරීමටද අවස්ථාව අහිමි කොට ඇති අතර ඊට හේතු වශයෙන් ඉදිරිපත් කොට තිබුණේ සභාපතිවරයා බලය අයුතු ලෙස භාවිත කරමින් වංචා හා දූෂණ වලට සම්බන්ධ වී ඇති බව සභාපතිවරයාට එරෙහිව සිදු කරන ලද පරීක්ෂණ වලින් ඔප්පු වී ඇති බවයි.
සභාපතිවරයා ඔහුව යළි එම තනතුරට පත් කරණ ලෙස ඉල්ලීමක් කළද එම ඉල්ලිමට ප්‍රතිවාරයක් නොමැති නිසා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කොට ආණ්ඩුකාරවරිය විසින් ගන්නා ලද තීරණය සාධාරණ නොවන බවත් තමන්ව යළි මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් පත් කරණ ලෙස නියෝගයක් නිකුත් කරණ ලෙස ඉල්ලමින් පෙත්සමක් ගොණු කොට තිබුණි
ඒ අනුව ආණ්ඩුකාරවරියගේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය මගින් නිකුත් කොට ඇති අතර සභාපතිවරයා විසින් වග උත්තරකරුවන් ලෙස නම් කොට ඇති උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඇතුලු සියලු දෙනාට ඔක්තෝබර් මස 27 වෙනිදා පිළිතුරු ලබා දෙන ලෙසටද නියෝග කොට තිබේ.