පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.
මතුගම ශාන් අරෝෂ් නමැති පාතාල නායකයාගේ සමීපතමයකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අගලවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබිණි.
මතුගම ශාන් යනු මේ පොදු ජන පෙරමුනේ ප්‍රබල ආධාරකරුවෙක්ව සිටි පුද්ගලයෙක් මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණු ප්‍රධානියාව සිට රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය රෝහිත අබේගුණවර්ධනගේ අවසන් මහා මැතිවරණ ව්‍යාපාරයේ තරුණයන් බල මුළු ගැන්වූ ප්‍රබල චරිතයකි.

මේ වනවිට විදෙස් ගතව ඉන්නා මතුගම ශාන් රටින් පැනගත්තේත් දේශපාලන හයියෙන් බව කියැවේ.
කෙසේ වෙත්ත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඩුබායිහි සිට ගෙනා මතුගම ශාන්ගේ ගෝලයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොයා ගත් භාණ්ඩ අතර විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ C4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 310ක් ඇතුළත් වේ.
මතුගම ශාන්ගේ ගෝලයා ලෙස හඳුනා ගත් මෙම සැකකරු මිනීමැරීමට තැත් කිරීම, පැහැර ගැනීම් සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුට එරෙහිව මීට පෙර වරෙන්තු කිහිපයක් නිකුත් කර තිබුණි.
සැකකරු පසුගිය සතියේ ඩුබායි සිට මෙරටට ගෙන්වාගෙන ඇත.







