දිනසේන රතුගමගේ –
වවුනියාවේ මඩුකන්ද ජාතික පාසල් භූමියෙන් 81 මිලිමීටර් වර්ගයේ ජීව මෝටාර් බෝම්බ තුනක් අද ( 11 ) දහවල් හමු වී තිබේ.
මෙවර නිවාසාන්තර ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩාංගණය සැකසීම සදහා ඩෝසරයක් පැමිණ ඇති අතර එම කාර්ය හමාර වීමෙන් පසුව විදුහල්පතිනිය පාසලේ ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා කසල වළක් කපා දෙන ලෙස කළ ඉල්ලිමකට අනුව ඩෝසර්කරු එම කසල වළ කපමින් සිටියදී මෙම මෝටාර් බෝම්බ මතු වී තිබේ.
පසුව එම වලේ බෝම්බ ඇති බව දුටු සිසුවෙකු ඒ පිළිබඳව කළ දැනුම් දීමකින් පසුව විදුහල්පතිනිය අතුලු පිරිස සිද්ධිය ගැන මඩුකන්ද පොලීසියට පැමිණිලි කර ඇත.
මඩුකන්ද පොලීසියේ නිලධාරීන් පැමිණ එම ස්ථානය ආරක්ෂා කොට වවුනියාවේ ආරක්ෂක නිලධාරීන්ට සිද්ධිය දැනුම් දීමෙන් පසුව මෝටාර් උණ්ඩ තිබූ ස්ථානය වටා ආරක්ෂාව යොදා පරීක්ෂණ අවසන්වන තුරු එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
බෝම්බ හමුවිමෙන් පසුව ඊට යාබද ගුරු නිවාසයක සිටි ගුරුවරුන්ද ආරක්ෂක හේතූන්මත ඉවත් කොට තිබේ.
හමු වූ බෝම්බ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පරීක්ෂා කොට එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩුකන්ද පොලිසිය පරික්ෂණ පවත්වා ගෙන යයි.