දිනසේන රතුගමගේ –
මඩකලපුවේ විරෝධතාවයකට සහභාගී වී සිටියදී පොලිස් අත් අඩංගුවට පත් වූ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හය දෙනෙකුට එරාවුර් අධිකරණයෙන් ඇප නියම වූවත් ඔවුන්ගේ පදිංචිය හා අනන්‍යතාවය සනාථ කිරීමට නොහැකිවීම නිසා එම සිසුන් හය දෙනා ඊයේ (05) බන්ධනාගාරගත කර තිබේ.
මඩකලපුවේ මයිලතාමඩු, මාඩවන් ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විසින් ආරම්භ කොට ඇති විරෝධතාවට සහය දැක්වීම පිණිස යාපනය විශ්වවිද්‍යාලයේ සිට සිසුන් විශාල පිරිසක් බස් රථ වලින් එහි ගොස් ඇති අතර එම විරෝධතාවයේදී මෙම සිසුන් හය දෙනා මහා මාර්ගය අහුරා ජනතාවට හා වාහන වලට බාධා වන ආකාරයටත් නීතියට හා සාමයට බාධා එල්ල වන ආකාරයටත් කටයුතු කිරීම නිසා මඩකලපුව සන්දිවේලී පොලීසිය විසින් අත් ආංගුවට ගෙන එරාවුර් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.
සිසුන් වරද පිළිගැනීම නිසා ඔවුන් හය දෙනාට එරාවුර් වැඩ බලන මහේස්ත්‍රාත් අන්වර් සදාත් විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කළද සිසුන් හය දෙනාගේ පදිංචිය හා අනන්‍යතාවය සනාථ කිරිමට නොහැකි වීම නිසා ඔවුන්ව බන්ධනාගාර ගත කොට තිබේ.
විශ්ව විද්‍යාල සිසුන් හය දෙනා අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකරණ ලද්දේ නීති විරෝධී ලෙස බව කියමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පොලීසියට එරෙහිව අද (6 ) විරෝධතාවයක් දියත් කොට ඇත.







