යුක්රේනය ඊයේ රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. රුසියානු ආක්‍රමණයක තර්ජනයට ප්‍රතිචාර වශයෙන් යුක්රේන පාර්ලිමේන්තුව ජාතික හදිසි තත්වයක් අනුමත කිරීමට ඡන්දය දී තිබිණි.
මොස්කව් සිය තානාපති කාර්යාලය ඉවත් කිරීමට පටන් ගත් දිනයේම මෙම පියවර ගැනීමට යුක්‍රේන රජය කටයුතු කළේය. වොෂින්ටනය රුසියානු ප්‍රහාරයක තීව්‍ර විභවය පිළිබඳ අනතුරු ඇඟවීමත් සමග මේ පියවර ගැනීමට යුක්‍රේනය කටයුතු කර තිබිණි. රුසියාවේ බලපෑමට මේ වනවිටත් යටත් වී සිටින ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල හදිසි තත්වයක් 2014 සිට ක්‍රියාත්මකව පැවතිනි.
මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්සික් ඉතා සංවේදී ප්‍රකාශයක් කළේය. ඔහු ඊයේ (23) රූපවාහිනියෙන් ලෝකය ඇමතුවේය. යුක්‍රේන ජනාධිපතිවරයා කීවේ රුසියාවට දැන් ඕනෑම දිනක “යුරෝපයේ විශාල යුද්ධයක්” ආරම්භ කළ හැකි බවය.
“ මේ අපරාධයට විරුද්ධ වෙන්න…“
ඔහු සමස්ථ රුසියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.
රාත්‍රියේ කතා කළ යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්සික් කීවේ තමන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කළ සාකච්ඡා කිරීමට අසාර්ථක වූ බව ය.
“මම රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධානියා සමඟ දුරකථනයෙන් කතා කරන්න උත්සාහ කළා. ඔවුන් නිහඬයි…“
යුක්රේන දේශසීමාවේ රුසියාවනු භට පිරිස් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක්, සන්නද්ධ රථ දහස් ගණනක් ස්ථාන කර තිබෙන්නෙ…“
කතාව අතර යුක්‍රේන් ජනාධිපතිවරයා සිය කථන භාෂාව යුක්‍රේන භාෂාවෙන් රුසියානු භාෂාවට වෙනස් කළේය. අනතුරුව ඔහු හැඟීම්බරව රුසියානුවන් ඇමතුවේය.
“ රුසියානු ජනතාවනි. මෙ ප්‍රහාරය ප්‍රතික්ෂේප කරන්න. ඔවුන් යුක්‍රේනය ගැන දරන්නෙ වැරදි අදහසක්. යුද්ධය නැවැත්විය හැක්කේ කාටද?. එය නැවැත්විය හැක්කේ ජනතාවකටයි. උසස් අදහස් දරන මිනිසුන් ඔබ අතර සිටින බව මට විශ්වාසයි,” ඔහු පැවසීය. එහෙත් තම රට රුසියානු ප්‍රහාරයකට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.
“රුසියාව අපට පහර දුන්නොත්, ඔවුන් අපේ භූමිය, අපේ නිදහස, අපේ ජීවිත, අපේ දරුවන්ගේ ජීවිත පැහැර ගැනීමට උත්සාහ කළහොත් අප අපවම ආරක්ෂා කරගන්නවා.”
“ඔබ පහර දෙන විට, ඔබට පෙනෙන්නේ අපගේ මුහුණු මිස අපගේ පිටුපස නොවේ,” යුක්රේන ජනාධිපතිවරයා කීවේ එසේය.
මේ අතර නැගෙනහිර යුක්රේනයේ බිඳී ගිය ප්‍රදේශ තම හමුදා සහාය ඉල්ලා ඇති බව මොස්කව් පැවසීය.
සී.එන්.එන් අද අලුයම වාර්තා කළේ යුක්‍රේන අගනුවර වන ක්යිව් (Kyiv) සිටින සිය කණ්ඩායම්වලට නැගෙනහිරින් ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙසින් පිපිරීම් ඇසෙමින් ඇති බවය.
ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිහිටා ඇති අගනුවරට නැගෙනහිරින් පිහිටි බොරිස්පිල් ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් සිදු වූ බව සමාජ මාධ්‍යවල වාර්තා වන ආකාරය සී.එන්.එන් වාර්තා කළේය.
යුක්රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයේ පුද්ගලයන් දෙදෙනෙකු ද CNN වෙත පැවසුවේ බ්‍රහස්පතින්දා හිමිදිරියේ අවම වශයෙන් දැවැන්ත පිපිරීම් දෙකක්වත් තමන්ට ඇසුණු බවය.
බීබීසී සහ සීඑන්එන් ඇසුරිනි