දිනසේන රතුගමගේ
උතුරු මුහුද හරහා නීති විරෝධී ලෙස ඕස්ට්‍රෙලියාවට පුද්ගලයන් සංක්‍රමණය වීම නතර කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බව ඕස්ට්‍රෙලියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පලමු ලේකම් බෲඩ් ඉසැන්ඩර් මහතා යාපනයේදී 13 දා පැවසීය.
ඕස්ට්‍රෙලියාවේ සිට උතුරේ රාජකාරි සඳහා පැමිණි වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් සමග ලේකම්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්.චාර්ල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී මේ බව පැවසීය.
ගත වූ කාලය ඇතුළත ඕස්ට්‍රෙලියාවට සංක්‍රමණය වූ පිරිස අතරින් විශාල පිරිසක් උතුරු මුහුද හරහා සංක්‍රමණය වීම නිසා රටවල් දෙක සාකච්ඡා කොට ඕස්ට්‍රෙලියානු වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් උතුරු මුහුද ආශ්‍රිතව රාජකාරියේ යොදවන බවද ඕස්ට්‍රෙලියානු ලේකම්වරයා කියා සිටියේය.
ඉන් පලමු කණ්ඩායම රැගෙන ඔහු යාපනයට පැමිණ ඇත.
ඒ අතරම ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක නිලධාරීන්ට ඕස්ට්‍රෙලියාවෙන් නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ සංක්‍රමණිකයන් වැළැක්වීම පිළිබඳ විශේෂ පුහුණුවක් සපයා දීමට ඕස්ට්‍රෙලියාව කටයුතු සැලසුම් කොට ඇති බවත් ඊට අමතරව පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම හා කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහාද ඕස්ට්‍රෙලියානු රජයෙන් මූල්‍ය පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇතැයිද ඕස්ට්‍රෙලියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පලමු ලේකම් බෲඩ් ඉසැන්ඩර් පැවසීය.