දිනසේන රතුගමගේ
යාපනයේ මයිලිට්ටි මුහුදේ බෝට්ටුවක් මත සිට කෑගැසූ වයස අවුරුදු දෙකක හා හතක ළමයින් දෙදෙනෙකු හා තවත් අයෙකු නාවික හමුදා හට පිරිසක් විසින් ඊයේ ( 29 ) බේරාගෙන තිබේ.
අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයෙකු සිය දරුවන් දෙදෙනා බෝට්ටුවක නංවා ගෙන මුහුදේ ගමන් කරමින් සිටියදී බෝට්ටුව අනතුරකට පත් වීමට ගිය අවස්ථාවේදී ළමයින් දෙදෙනා බියට පත්ව කෑ කෝ ගසා තිබේ.
වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ පිරිසක් බෝට්ටුවකින් එම බෝට්ටුව වෙත හඹා ගොස් ළමයින් දෙදෙනා හා වැඩිහිටියා ගොඩ බිමට රැගෙන විත් ඇත.
නාවික හමුදා නිලධාරීන් මේ පිළිබඳව කළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ බීමත් පුද්ගලයාට බෝට්ටු පැදවීමට නොහැකි බවත් ඔහුට බෝට්ටුවක් පවා නොමැති බවත්ය.
ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසුව සිය ළමයින් දෙදෙනා කැටුව මුහුදු වෙරළට ගොස් වෙරළේ නවතා තිබූ බෝට්ටුවක ළමයින් දෙදෙනා නංවා ගෙන බෝට්ටුවෙන් මුහුද මැදට ගොස් තිබේ.
ඔහුට නිසි ලෙස බෝට්ටු පැදවීමට නොහැකි නිසා බෝට්ටුව මුහුදේ විශාල රළ පහරකට හසු වූ අවස්ථාවේදී බෝට්ටුව කැරකැවෙන්නට පටන් ගැනීම නිසා ළමයින් බියට පත්ව කෑ ගසා තිබේ.
නාවික හමුදාවේ පිරිසක් විසින් ඔවුන්ව බේරා ගෙන ඇත්තේ ඒ අවස්ථා වේදීය.
සිද්ධිය දැනගත් පසුව පියාට තරයේ අවවාද කිරීමෙන් පසුව ඔවුන් තුන් දෙනාව නාවික හමුදාවේ නිලධාරීන් විසින් ආපසු නිවසට යවා ඇත.







