ටෙන්ඩර කැඳවා බාහිර වාණිජ අංශ වෙත ලබා දෙන පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි “සැලෝන්” එකෙහි අලුතින් ටෙන්ඩරය ලබා ගත් තරුණයා අනීතිකව අත්අඩංගුවටගෙන අනවශ්‍ය ප්‍රශ්නයකට පැටලවීමට උත්සාහ කළේ යැයි ගම්පල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත චෝදනා එල්ල වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සැලෝන් එකෙහි මින් පෙර ටෙන්ඩර් ලබා ගත් පුද්ගලයා ලඟ මෙම නිලධාරයාගේ බිරිය සේවය කර තිබීමත් රාජකාරිය මුවාවෙන් අතාර්කික ලෙස බලය යොදවා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමත් හේතුවෙන් මෙම චෝදනාව ඔහුට එල්ල වී තිබෙන බව වාර්තා වේ.
පෙළ ගැසෙන ආකාරයට සිද්ධිය මෙසේය.
සරසවි පරිශ්‍රයට යම් විමර්ශනයක් සඳහා ඇතුළු වෙනවා නම් ඒ සම්බන්ධව සරසවි පාලන අධිකාරිය දැනුම්වත් කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුව ඇත.
එසේ තිබිය දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ පිහිටි සැලෝන් එකෙහි සේවය කළ මේ වනවිට එම ආයතනයේ ටෙන්ඩරය ලබාගෙන සිටින ශිල්පියා ගම්පොළ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් පැමිණ විශ්වවිද්‍යාල පාලනාධිකාරියට කිසිදු අයුරකින් නොදන්වා ප්‍රශ්න කිරීම සඳහා යැයි පවසා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව විශ්විද්‍යාල පාලන අධිකාරිය කිසිසේත්ම දැනුම්වත් කර නොතිබුණු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් තහවුරු කළේය.

සිදුවීම සම්බන්ධව විමසීමේ දී ගම්පොල පොලිසිය පැවසුවේ මෙවැනි කතාවකි.
සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වීම නිසා දරු දෙදනා සමඟ තනිව ගම්පොළ උනම්බුව ප්‍රදේශයේ නිවසක වාසය කළ කාන්තාවක විසින් පොලීසියට ඊයේ (20) පෙරවරුවේ පැමිණිල්ලක් කර ඇත. ඒ පැමිණිල්ලේ පවසා ඇත්තේ තමන් දරු දෙදනා සමඟ නිවසේ නිදා සිටිය දී 20 දින අලුයම් කාලයේ නිවසට ඇතුළු වූ අයෙකු තම ගෙළ ප්‍රදේශය අත ගෑ බවය.
නිවස තිබී ඇත්තේ මද අඳුරේය. කලබල වී නැගිටින්නට උත්සහ කළ අවස්ථාවේ එම පුද්ගලයා පළාගිය බවත් කාන්තාව අඳුරේම පුද්ගලයාගේ හැඩරුව පවසා තිබුණ බව පොලිසිය කීවේය. තවද ප්‍රදේශවාසීන් ලබාදුන් ප්‍රකාශ පදනම් කර ගනිමින් සිදුකළ විමර්ශන වල දී අදාළ කරණවෑමියා සම්බන්ධයෙන් සැක කළ හැකි තොරතුරු රැසක් ලැබුණු බව කී ගම්පොල පොලිසිය අනතුරුව එදිනම සවස විශ්විද්‍යාල පරිශ්‍රයට ගොස් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන එළියට පැමිණ ඔහුගේ ඡායාරූපයක් අදාල කාන්තාවට යවා අපරාධයට පැමිණ ඇත්තේ මෙම තරුණයාම බව තහවුරු කරගත් බව කීවේය.
සිදුවූයේ කුමක් දැයි දැන ගැනීමට මෙම අත්අඩංගුවට ගත් තරුණයාත් දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට කටයුතු කළෙමු.
ඔහු සිය අත්දැකීම අපට මෙසේ කීවේය.
“ පොලිසිය විශ්වවිද්‍යාලය ඇතුළට ආවා. ඒ අය හිටියෙ සිවිල් පිට. ඊට පස්සේ මාව ත්‍රීවිල් එකකට දාගත්තා. මුලින්ම කිව්වේ මම රුපියල් පන්දාහක් හොරකම් කළා කියලා. මම කිව්වා මම කවදාවත් එහෙම කරලා නෑ කියලා. ටික වෙලාවක් යනකොට පන්දාහ විසි පන්දාහක් වුනා. ඊට පස්සේ මේ අය කියන්න ගත්තා මම කාන්තාවකට අතවර කළා කියලා. මම නැවත නැවත කිව්වා අනේ මම එහෙම කරලා නෑ මොනවද මේ කියන්නේ කියලා.”
“ ඒත් මේ කණ්ඩායම මාව මොනවා හෝ වැරැද්දකට පටලන්න හදන බවට මට දැන් සැකයක් ඇවිත් තිබුනා. මම හිටියෙ ලොකු බයකින් වගේම චකිතයකින්. “
“ අන්තිමට මාව ගම්පොල උනම්බුවෙ මගේ ගේ ගාවටම අරන් ගියා. අරන් ගිහින් ගෙදර දොර මගේ ලවාම ඇරගන්න හැදුවා. මට දැනුනා මේ හදන්නේ කුඩු හරි වෙන මත්ද්‍රව්‍යයක් හරි දාලා මාව ඇතුළට ගන්න කියලා. මම එක පාරටම එතනින් දුවලා ගියා.”
ඒ වෙලාවේ කළුවරේ… මාව ඇදගෙන වැටුනා. කකුළත් උලුක් වුනා. මම ඊයේ රෑම පොලිසියට ගිහින් සිද්ධිය සම්බන්ධව සම්පූර්ණ ප්‍රකාශයක් කළා.”
ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හරින ලද සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ගම්පොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු පැවසුවේය.
මේ අතර විශ්වවිද්‍යාල පරිශ්‍රයට ගොස් පාලනාධිකාරිය දැනුවත් නොකර එහි රූපලාවන්‍ය සහ කොණ්ඩා කපන මධ්‍යස්ථානයේ සේවය කළ කරණෑවෑමියා පැහැරගෙන යාම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය ද පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
වැඩිදුර තොරතුරු සොයා යෑමේ දී හෙළි වන්නේ අපූරු කතාවකි.
විශ්වවිද්‍යාල රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානය ටෙන්ඩර් ගැනීමේ මධ්‍යස්ථානය කාලයක් තිස්සේ ටෙන්ඩර් මගින් ලබාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකි. ගම්පල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ බිරිය සේවය කර ඇත්තේ මෙම පුද්ගලයා ලඟය.
මෙවර ඔහුට මෙම රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයේ ටෙන්ඩරය ලැබී නැත. එම ටෙන්ඩරය ගෙන ඇත්තේ පොලිසිය මගින් මේ ප්‍රශ්නය ඇති කර තිබෙන තරුණයාය.
මේ වනවිට ගම්පොල පොලිසියට චෝදනා එල්ල වන්නේ පුද්ගලික ආර්ථික කාරණා මුල් කරගෙන නීතිය අවභාවිත කරමින් තරුණයෙක් අපරාධ වරදකට පටලවා ඔහු විසින් කරගෙන යන ව්‍යාපාරය සිය බිරියගේ පාර්ශවයට ලබා දීමට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවටය.
මේ සම්බන්ධව පොලිසියේ ඉහළට පැමිණිලි කිරීමට අගතියට පත් වූ පාර්ශව කටයුතු කිරීමට සූදානම් බව ද දැනගන්නට ඇත.







