බිත්තර විකිණීමේ මිල රුපියල් 50කට වැඩි වුවත් නිෂ්පාදනය කිරීමට වැයවන්නේ රුපියල් 25ක් පමණක් බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ ‘චමුදිත නිව්ස් බ්‍රීෆ්’ වැඩසටහනට හා සම්බන්ධ වෙමින් පැවසීය.
නිෂ්පාදන සංගමය බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් හතළිස් හයයි සත ගණනක් ලෙස පවසා තිබුණත් එය සත්‍ය මිල නොවන බවත් ගුවන්විදුලි වැඩසටහනකදී ගොවීන්ම සිය නිෂ්පාදන වියදම රුපියල් 25ක් බව පැවසූ බවත් ලේකම්වරයා සඳහන් කළේය.
“සාමාන්‍යයෙන් කිකිළියෝ මාස 5න් වගේ බිත්තර දානවා.. කිකිළියෝ 1000කට දවසකට කෑම කිලෝ 100ත් 110ත් අතර ප්‍රමාණයක් යනවා. “
“මම මේ වාර්තාව ගනිද්දී කෑම කිලෝ 1ක් රු. 190කට තිබ්බේ. දැන් රු. 20කින් ඒකත් අඩු වෙලා. කිකිළියෝ 1000කට ජලය, විදුලිය, කම්කරු ගාස්තු, විටමින් සේරම ගණන් බැලුවොත් දවසකට යන වියදම 20900යි. මාසෙකට රුපියල්. 60 0000ක් විතර යනවා. සාමාන්‍යයෙන් කිකිළියන් 1000කට ගෙන් බිත්තර 850ක් විතර ගන්න පුළුවන් දවසකට. එතකොට අපි නිෂ්පාදන වියදම බලන්නේ වියදම බිත්තර ගාණෙන් බෙදලා. එහෙම ගාණ හදලා බලද්දී වියදම වෙන්නේ රු. 26.94” . ඔහු විස්තර කළේය.
රු. 25 – 27 ත් අතර මුදලකින් නිෂ්පාදනය කළ හැකිව තිබියදී ගොවීන් සිදු කරන මාෆියාවෙන් වැඩිම අසාධාරණය ජනතාවට සිදුවන බවත් අනතුරුව බිත්තර බෙදාහරින්නන්ට හා වෙළෙඳසැල් හිමියන්ට අසාධාරණයක් වෙන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
ගොවීන් බිත්තර, අතරමැදියන්ට හා වෙළෙඳසැල් හිමියන්ට රු. 45ත් 48ත් අතර මිලකට ලබා දෙද්දී විකිණීමේ පාලන මිල රු. 50කට සීමා කර තිබියදී වෙළඳසැල් හිමියන් කුමක් කරන්නදැයි ඔහු ප්‍රශ්න කළේය.
වැඩිදුරටත් අදහස් පළ කළ ලේකම්වරයා සඳහන් කළේ නිෂ්පාදන වියදම් බොරු යැයි නිෂ්පාදන සංගමය තමන්ට චෝදනා එල්ල කළහොත් විවෘත විවාදයකට තමන් සූදානම් බවයි.