සියලු බලවේග පොදු සම්මුතියකින් එකට එකතු කරගෙන වේදිකාවට ගොඩවීමට තමන් වහන්සේ සූදානමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියෝ ලංකාසරට පැවසූහ.
රට සහ ජනතාව වෙනුවෙන් වැඩක් කරනු ඇතැයි ලොකු විශ්වාසයකින් වත්මන් ආණ්ඩුව පත් කර ගත්ත ද ඉන් කිසිදු වැඩක් නොවුණු බව උන්වහන්සේ කීහ.
ඒ කළකිරීම නිසාම රටට ආදරය කරන රට වෙනුවෙන් වැඩ කරන බලවේගයක් ගොඩනගා ඒ අය සමග පොදු ගිවිසුමක් ඇති කරගෙන නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව පොදු වේදිකාවක් තනන බව කී ගුණවංස හිමියෝ තමන් බලයට පත්කරන එම බලවේගය පොදු ගිවිසුම උල්ලංඝණය කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාව තිබිය යුතු බව පෙන්වා දුන්හ.
වත්මන් ජනාධිපතිවරයා පත් කරගත්ත ද ඔහු සහ ඔහුගේ ආණ්ඩුව රටට සහ ජනතාවට එරෙහිව කරන කටයුතුවල දී ඊට එරෙහිව අධිකරණයට යෑමට නොහැකි බවත් මින් ඉදිරියට එවැන්නකට ඉඩ තැබිය යුතු නැති බවත් උන්වහන්සේ කීහ.
වත්මන් පාලනය යටතේ අද මේ රට මහා ව්‍යසනයටක පත් වෙමින් සිටින බව කියන ඇල්ලේ ගුණවංස හිමියෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය සහ ඒවායේ මිල ඉහළ යෑම නිසා ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බව සිහිපත් කළහ.
මේ විනාශයෙන් රටත් ජනතාවත් නිදහස් කරගැනීම සඳහා රට ගැන සිතා වැඩ කරන බලවේගයක් ගොඩනැගිය යුතු බවත් එහි මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවත් උන්වහන්සේ අනාවරණය කළහ.
උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ ගේ ස්ථාවරය කුමක් දැයි ලංකාසර කළ විමසුකට පිළිතුරු දුන් ගුණවංස හිමියන් කියා සිටියේ ඒ ගැටලුව අනවශ්‍ය ගැටලුවක් බවය.
ඒ සම්බන්ධව දෙපාර්ශවයම වැරදිකරුවන් බවත් උන්වහන්සේ කීහ.
අද රටට අවශ්‍ය වී තිබෙන්නේ එවැනි කටයුතු නොව, මේ රට පත්ව සිටින අර්බුදවලින් ගොඩගෙන ජනතාව ජීවත් කිරීම බව පවසන උන්වහන්සේ ඒ බැරෑරුම් ප්‍රශ්නවලින් ගොඩඒමට ක්‍රියාකරනවා වෙනුවට වත්මන් පාලකයින් රටේ ඉඩකඩම් සියල්ල විකුණාගෙන රටේ සම්පත් විකුණාගෙන කාලය ගත කරන තත්වයක් ඇති වී තබෙන බව අවධාරණය කරති.
මෙලෙස රාජ්‍ය සම්පත් දිනපතා විකිණුවද එම මුදල්වලට සිදුවන්නේ කුමක් ද යන්න ප්‍රශ්නයක් බවත් උන්වහන්සේ පවසති.