අනුරාධපුර – පර්සි කුරුනේරු
ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවතින වියලි කාලගුණය හේතුවෙන් හුරුළුවැව ඇතුළු කුඩා වැව්වල ජල ධාරිතාවය පහත වැටී ගොවිබිම් විනාශ වී ඇති පසුබිමක, නෙලාගන්නා අස්වැන්නට නිසි මිලක් නොමැති වටපිටාවක අතිරේක භෝග වගා කළ ගොවීන්ට වගාව සදහා ජලය නොමැති පරිසරයක ගොවියාගේ මූලික ගැටලුවලට විසදුම් නොසොයා හුරුළුවැව කතරගම දේවාල භුමියේ මුදලට සැණකෙළි නොපවත්තන්නැයි මහා සංඝරත්නයත් ප්‍රධාන ගොවි සංවිධානත්, ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම්වරයා ප්‍රධාන රජයේ නිලධාරීන්ට දන්වා සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ මුදුන් මල්කඩ බදු හුරුළු කතරගම මහ දේවාලයේ දෙවියන් උදෙසා ගොවි ජනතාව පුද පුජා සත්කාර කොට වාර්ෂික ඇසල පෙරහැර පවත්වා ප්‍රදේශයට ආශීර්වාද ලබා ගැනීම අතීතයේ පටන් සිදු කර ගෙන ආවේ මහත් ගෞරවයකින් යුතුව බවය.
එහෙත් පසුගිය වසර කිපයේ රටේ පැවති කොවිඩ් ව්‍යසනය හා ඉන්පසු පැවති ආර්ථික අර්බුදය හමුවේ හුරුළු කතරගම මහ ඇසල පෙරහැර පැවැත්වීමට නොහැකි වු බවත් ප්‍රදේශයේ ගොවි සංවිධාන හා මහා සංඝරත්නය පෙන්වා දෙති.
මේ අතර මෙවර පෙරහැර පවත්වන මුවාවෙන් මුදලට සැණකෙළි පවත්වන බව ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ගොවි සංවිධාන නියෝජිතයන් චෝදනා කර සිටිති..
හුරුළුවැව එකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් උපාලි ඒකනායක සහ ජාතික භික්ෂු ජන එකමුතුවේ සභාපති පූජ්‍ය ඇලපත්ගම ඥානරතන ස්වාමින් වහන්සේ මාධ්‍ය හමුවක් කැඳවා පැවසුවේ පසුගිය 24 වෙනිදා ආරම්භ කළ මෙම සැණකෙළිය මේ මස 30 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇති බවය.
මේ අතර එහි අවසාන දින දෙක වන 28 හා 29 දෙදින තුළ පමණක් පෙරහැර පැවැත්වීමට ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රධාන රාජ්‍ය නිළධාරින් හා දේවාල කමිටුව සැලසුම් කර තිබෙන බවත් ඔවුහු පවසති.
අතිතයේ සිට පුරාණ චාරිත්‍රානුකූලව පැවති පෙරහැර සම්ප්‍රදායට පටහැනිව එය මේ වන විට ඇතැම් ජාවාරම්කරුවන්ගේ වෙළෙඳ සැණකෙළියක් බවට කිරීම හෙළා දකින බවත් කියති.
ගොවින් හා ප්‍රදේශයේ ජනතාවට රාජ්‍ය නිළධාරින් මැදිහත්ව කළයුතු කටයුතු බොහෝ තිබියදි මෙලෙස පවත්වන සැණකෙළිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ බහුතරයක් ජනතාවගේ විවේචනයට ලක්ව ඇත