තම නිවසට පහර දීමට පෙර ජාතික බුද්ධි කාර්යංශයෙන් මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව අනතුරු ඇඟවීමේ වාර්තාවක් තමන්ට ලැබුණු බවත් එම වාර්තාවට අනුව මෙම ප්‍රහාරයට ජාතික ජනබලවේගය, පෙරටුගාමී පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සම්බන්ධ බව මේ වනවිට තහවුරු වී ඇති බවත් පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේ වාරයේදී ඊයේ (04) සිය පොළොන්නරුව නිවසට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ ව අනාවරණය කරමින් ඔහු සඳහන් කළේ නිවසේ දේපළ හානි කිරීමට පැමිණි කණ්ඩායමේ ඡායාරූප ද එහි පවතින අතර අදාළ සිදුවීම වීඩියෝගත කළ පුද්ගලයාද ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු බව අනාවරණය වී ඇති බවය.
සාමකාමී විරෝධතාවලට මුවාවෙන් තම නිවසට එල්ල කළ මේ ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණකාරී දේශපාලන බලවේග සිටි බව ඔහු කීවේය.
මේ සම්බන්ධව තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුයේ තම නිවසට ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර නොමැති බවය.
“ මේ බුද්ධි වාර්තාව පිළිබඳව මා පොලිසිය දැනුම්වත් කළා. මගේ නිවසට පොලස් නිලධාරීන් 13 දෙනයි යොදවා තිබුණේ. අද පොලිස්පතිත් ඩබල් ගේම් ගහන්නේ. ඊයේ නිවසට එල්ල කළ ප්‍රහාරයෙන් පස්සේ මම පොලිස්පති සම්බන්ධ කර ගන්න දස වතාවක් පමණ උත්සාහ කළා. ඒත් බැරිවුණා.
සාමකාමී උද්ඝෝෂණ නාමයෙන් විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරන ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතබන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ආරක්ෂා කිරීමට කතානායකවරයා මැදිහත් විය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
මෙම කතාවට වහා ප්‍රතිචාර දැක්වූ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රිවරයකු වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම ප්‍රහාරයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසිදු ආකාරයකින් සම්බන්ධ නැති බවත් තමන් මේ මොහොතේ රොෂාන් රණසිංහ අසලටම ගොස් මේ පුහාරයට සම්බන්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් කවුදැයි ඇසූ අතර එහිදී තම නිවස ආසන්නයේ තරුණයකු ඊට සම්බන්ධ ව සිට ඇති බව හෙළි කළ බවත් කීවේය. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
එසේම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකද තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කය සමඟ මේ මොහොතේ සම්බන්ධ වූ බව තම පක්ෂයේ කිසිවකු මෙම පුහාරයට සම්බන්ධ නැති බවට සහතික වන බවද ඔහු සඳහන් කළේය.