පවුල් ආරවුලක් මත බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගැණුනු පනාමුර, වැලිපොත යාය පදිංචිකරුවෙකු වූ 38 හැවිරිදි තිදරු පියෙකු පොලිස් සිරමැදිරියේදී ගෙල වැලලාගෙන මිය යෑමත් සමගම පනාමුරේ පොලිසිය අසල උණුසුම් තත්වයක් ඇති වී තිබේ.
මේ වනවිට එම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වැඩ තහනමට ලක්කර ඇත.
පොලීසිය පැවසුවේ එම සැකකරු රෝහල් ගතකිරීමේදී මියගොස් සිටි බවය. එහෙත් පනාමුර පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්ව අදාළ මරණය සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල කරන පිරිස් පවසන්නේ මරණය සැක සහිත බවය.
මේ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදීත් මේ සම්බන්ධව අදහස් පළ වුණි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසා සිටියේ, ඊයේ පැවති තම පක්ෂයේ විරෝධතාවයට එක්වු තරුණයෙකු ට පහරදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
මෙයට පිළිතුරු ලබා දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියද් අද්මිරාල් සරත් වීරසේකර පවසා සිටියේ, පොලිස් පහරදීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වු බව පැවසීම අමූලික බොරුවක් බවත් දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි මේ පුද්ගලයා මියගොස් ඇත්තේ බිරියගේ පැමිණිල්ලක් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පසු සිර කුටියේ ගෙලවැල ලාගෙන බවත්ය.







