ඉඳුනිල් කහටපිටිය –
දිවයිනේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සේවය කරන පොලිස් නිලධාරීන් සම්බන්ධව නැගෙන චෝදනා ඉහළ යමින් තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ව ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම් ඉහළ ගොස් ඇත. පසුගිය වසර දෙක තුළ මෙම ප්‍රවනතාවයේ කැපී පෙනෙන වර්ධනයක් නිරීක්ෂණය කළ හැකිය.
පොලිසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පිරිස් පිළිබඳව වැඩි වැඩියෙන් වාර්තා වූයේය. ඒ සමගම මත්ද්‍රව්‍ය සහ මත් පෙති සමග ඇතැම් පොලිස් නිලධාරින් අත් අඩංගුවට පත් විනි., සමහර පොලිස් නිලධාරීන් අපරාධ ජාලවලට කුලියට ගිනි අවි සැපයූ බවට සමාජය බියපත් කරන සිද්ධි හෙළි විය. ගැඹුරු සහ පුළුල් වන මත්ද්‍රව්‍ය ගැටලුවක් සමඟ පොරබදමින් සිටින රටක ආයතනික අධීක්ෂණය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩතාව පිළිබඳව මෙම හෙළිදරව් කිරීම් ප්‍රබල ප්‍රශ්න මතු කළේය.
නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් සහ අභ්‍යන්තර පරීක්ෂණ
2024 සිට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් හෝ මත්ද්‍රව්‍ය ප්‍රවාහන පහසුකම් සැලසූ බවට චෝදනා ලැබූ නිලධාරීන්ට එරෙහිව චෝදනා සහ අධිකරණ කටයුතු අඛණ්ඩව ගලා ඒමක් දක්නට ලැබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සහ අභ්‍යන්තර පොලිස් විමර්ශන ඒකක, මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට සම්බන්ධ චෝදනා මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගත්තේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකළ නිවේදනයකට අනුව අවම වශයෙන් එක් සිද්ධියක් තහවුරු තිබේ. එනම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල් කෙනෙක් සැකකරුවෙකු නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා මුදල් ලබා ගත් බවය.
පසුගිය දා රුපියල් කෝටි ගණනක මත් පෙති සමග කොහිවල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් කෙනෙක් අත් අඩංගුවට ගතතේය. ඔහු සිය නිවසේ මත් පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා මත් පෙති ජාවාරමේ යෙදි තිබිණි.
බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්‍රදේශයේ තාවකාලික පදිංචි සිය නිවස තුළ මත් පෙති ගබඩා කරගෙන මෙම කොස්තාපල් සිදුකළ දීප ව්‍යාප්ත මත් පෙති ජාවාරම ගැන තොරතුරු අනාවරණය කරන්නේ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසිනි. එම ඒකකයට අදාල නිශ්චිත තොරතුර දැනුම් දෙන්නේ යුද හමුදා බුද්ධි අංශය ය.
එම නිවස තුළ ගබඩා කර තිබී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් සම්පූර්ණ මත් පෙති තොගය 1,330,420කි. එහි වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවා යන බව විමර්ශන අංශ කීවේය. අත්අඩංගුවට ගත් කොස්තාපල් වසර 14ක කාලයක් කොහුවල පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙක් බව අනාවරණය විය
මෙම ගැටලුව සුළු දූෂණයකට පමණක් සීමා නොවේ. මාධ්‍ය වාර්තා සහ අධිකරණයට කරුණු වාර්තා කිරීම්වලින් චෝදනා කර ඇත්තේ පොලිස් නිලධාරීන් පාතාල ක්‍රියාකාරීන්ට සිය රාජකාරි ගිනි අවි සපයා ඇති බවය. 2025 මාර්තු මාසයේදී කොන්ත්‍රාත් ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවන්ට T56 ප්‍රහාරක රයිෆල් සැපයීම සම්බන්ධයෙන් සැකපිට කොස්තාපල් කෙනෙක් ප්‍රසිද්ධියේ අත්අඩංගුවට ගත්තේය. ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ ආධුනික පොලිස් නිලධාරියෙක් සිය T56 ගිනි අවිය පාතාලයට විකුණා රටින් පැන්නේ මීට නොබෝ කලකට එපිටදී ය. නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින්ට අපරාධ ජාලයට සම්බන්ධ විය හැකි ආකාරය එම නඩුව මගින් ඉස්මතු කරන ලදී.
විශාල අත්අඩංගුවට ගැනීම් – සහ කුඩා අභිරහස්
2025 මැද භාගයේ නාවික සහ වෙරළාරක්ෂක මෙහෙයුම් මගින් “කේරළ ගංජා” ඉතා විශාල තොගයක් සහ, ගිනි අවි සහ පතොරම් සොයා ගෙන තිබිණි. උදාහරණයක් ලෙස, 2025 ජූලි 2 වන දින වෙරළාරක්ෂක-නාවික-පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඒකාබද්ධ මෙහෙයුමකින් වෙන්නප්පුවට ඔබ්බෙන් ගංජා කිලෝග්‍රෑම් 900 ක් පමණ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඉදිරිපත් කළ හැකිය. අදාළ අත්අඩංගුවට ගැනීම් අතරතුර විමර්ශකයින් විදේශීය නිෂ්පාදිත පිස්තෝල දෙකක්, පතොරොම් ගැබ් සහ පතොරම් ද සොයා ගත්හ.
බලධාරීන් විසින් මෙම මෙහෙයුම් උත්කර්ෂයට නන්වන්නේ ආක්‍රමණශීලී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දියත් කර ඇති සාධනීය මෙහෙයුම්වල සාර්ථක ප්‍රතිඵල ලෙසය. එහෙත් අපරාධ විමර්ශකයින් සහ විචාරකයින් ප්‍රශ්න කරන්නේ සංවිධානාත්මක ජාල ආයුධ ලබා ගත්තේ කෙසේද යන්නය. සේවයේ නියුතු ආරක්ෂක අංශවල නිලධාරීන් ඒ සඳහා සහාය වූයේද නැතහොත් ඇස් පියාගෙන සිටියේද යන්නත් ඔවුහු ප්‍රශ්න කරති.
ජාතික මට්ටමින්, 2025 දී නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛන මගින් මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම්වල වාර්තාගත ඉහළ අගයක් පෙන්නුම් කර ඇත. හෙරොයින්, මෙතම්ෆෙටමින් හෙවත් අයිස්, ගංජා සහ අනෙකුත් මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙස අත්අඩංගුවට ගැනීම් ගැන ඇසේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය ජාවාරමට එරෙහි ප්‍රගතිය පිළිබඳ සාක්ෂියක් ලෙස මෙම සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර තිබේ. වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් ගැනීම් අනිවාර්ය වුවද ඒකාබද්ධ මත්ද්‍රව්‍ය යාන්ත්‍රණය බිඳ දැමීම සඳහා වූ සාධනීය ක්‍රියාවලියක් ඒ ඔස්සේ ගොඩනැගී නැති බවත් පද්ධතිය තුළ දූෂිත පුද්ගලයින් අපරාධ සඳහා පහසුකම් සැලසීම නතර නොකරන බවත් සබුද්ධික මිනිස්සු තර්ක කරති.
පොලිසියේ මහ උන්ගේ සිට වත්කම් පරීක්ෂා කරන්න
සමහර විට ගිනි අවි මෙන්ම මත්ද්‍රව්‍ය ඇතුළත් මුහුදු මගින් එන මත්ද්‍රව්‍ය තොග කළමනාකරණය සිදුකරන පාතාල ජාලවල චලනයන් හුදකලාව සිදුනොවන බවට මේ වනවිටත් සැක පහළ වී තිබේ. දකුණු පළාතේ ඉහළම පොලිස් නිලධාරීන්ගේ නම් පවා මේ ජාලගත අපරාධවල සඳහන් වන ආකාරය පෙනේ. මේ රටේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වා හිටපු සහ සිටින පොලිස් ප්‍රධානීන් බොහෝ දෙනෙක් උපයාගෙන ඇති අතාර්කික වත්කම් ප්‍රමාණය ගැන මේ වනතුරුත් කිසිවෙක් නිසි බරින් ප්‍රශ්න කර නැත. මේ වත්කම් ඔවුන්ගේ සේවා කාල දෙකක දී මුළු වැටුපම හෝ වැටුපෙන් ලබා ගත හැකි ණය මත ගොඩනගා ගත හැකි ඒවා නොවන බව පොලිසියම දනී. මේ මිනිසුන් ගැන නම් ගම් වශයෙන් ලයිස්තුගත කර ප්‍රකාශ කළ හැකි බව කිව යුතුය. ඇඳුම් බෑග් එක සූට් කේස් එකේ දමාගෙන පොලිසියේ සේවය පැමිණි පොලිස් නිලධාරීන් අවුරුදු 10 -15ක් යනවිට අසීමිත වත්කම් සහිත කෝටිපතියන් වූ ආකාරය විමර්ශනය කිරීමට විනිවිද පෙනෙන සුළු ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මේ ආණ්ඩුවට හෝ හැකි නම් පාතාල අපාරාධ ජාලය සහ පොලිසියේ දීගය හෙළිදරවු කරගත හැකි බව සහතික වශයෙන් ලියා තැබිය හැකිය.
එහෙත් එවැනි පෞරුෂයක් මාලිමා රජයට තිබේ යැයි අප විශ්වාස කරන්නේ නැත. ඔවුන් පොලිස් අමාත්‍යාංශයේ පරිපාලනය භාර දී ඇත්තේත් ආයුධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන කුප්‍රකට ජාවාරමෙකුගේ අල්ලේ නැටවෙන නාකි රූකඩයකි. ඔවුන්ගෙන් මේ රට අපේක්ෂා කළ කිසිම සාධනීය ව්‍යාපෘතියක් ඵල දරන්නේ නැත.
උදාහරණයක් පමණක් සටහන් කර නිමා කරමි. මේ වනවිට ජනාධිපතිවරයා පාතාලයට ආයුද ලැබීම සම්බන්ධව පුනරුච්ඡාරණය කරමින් යන්නේය. ඔහු ඡන්දයට පෙර සිට අද දක්වා පවසමින් යන ඒ කතාවේ අන්තර්ගතය ආමි කෑම්ප් එකකින් පැන්නූ ආයුද ගැනය. ඔහු පිරට රට ගිහින් ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීත් ඒ ගැන කියන්නේය. ලංකාවේ දී අන්තිමට මේ ආයුද ගැන කීවේ පරිපාලන නිලධාරින්ගේ හමුවේ දී ය. මේ අපරාධයට හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් සම්බන්ධ බවත් කීවේය. හිටපු ජ්‍යෙ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද ගේමේ සිටියේය. මේ ජාවාරමට සම්බන්ධ එකෙක් විදේශයක සිට කුදලාගෙනත් ආවේය.
දැන් සිදුවී ඇත්තේ කුමක් දැයි සමහරවිට ජනාධිපතිවරයා දන්නේ නැතිව ඇත. කුදලාගෙන ආපු එකා චෝදනා නැතිව ඇප පිට නිදහස් විය. ඒ අවි ආයුද පැන්නීම සම්බන්ධ සිද්ධියේ විමර්ශන මේ වනවිට නැවතී ඇත. මේ විමර්ශන ඉදිරියට යන්නේ නැති පසුබිමක ජනාධිපතිවරයා අවි ආයුධ පැන්නීම ගැන තවමත් කියමින් සිටී.
අපරාධ නැවැත්වීම සඳහා අපරාධකරුවන්ගෙන් තොර පොලිසියක් මෙන්ම කොන්දක් ඇති නිලධාරීන් පිරිසක් ද අවශ්‍යය. මේ රටේ ඉන්නේ ආණ්ඩුවේ අගමැතිනිය රට ඉදිරියේ කුජීත කළ නිලධාරීන්ය. ජනාධිපතිවත් මායිම් නොකර තමන්ගේ ගේම ගහගන්නා නිලධාරීන්ය. අවසාන වශයෙන් කුඩුපට්ටම් වන්නේ රටේ මිනිස්සුන් හෙටක් ගැන දුටු සිහිනය ය.







