ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝග පිළි නොපැදීම සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න හා තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණයට කොන්දේසි විරහිතව කණගාටුව පළ කර සිටියහ.
ඔවුන් මෙසේ කණගාටුව පළ කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ශානි අබේසේකර සමඟ, අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස්ගේ වැටුප් ගෙවීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග, පිළිනොපැදීම හේතුවෙනි.
ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පෙත්සමකට අදාළව අද දිනයේ, අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්පති වික්‍රමරත්න , නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙන මහින්ද ගුණරත්න හා ජේ. එස් වීරසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන එම්. එන් එස් මෙන්ඩිස් හා සනත් කුමාර යන නිළධාරිහු, ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වන ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා හා මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ, මෙසේ කණගාටුව පළ කර සිටියහ.
පොලිස්පතිවරයා ඇතුළු නිළධාරීන් වෙනුවෙන් පෙනී සිටිමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ අධිකරණය හමුවේ දන්වා සිටියේ, අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන්, සිය සේවාදායකයා වන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්, කොන්දේසි විරහිතව කණගාටුව පළ කර සිටින බවය.
එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා තවදුරටත් සඳහන් කර සිටියේ, එම නියෝග අනුව කටයුතු කිරීමට නොහැකි වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනමය ප්‍රමාදයන් නිසා බවයි. කෙසේ වුවද, පෙත්සම්කාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවයේ යළි පිහිටුවීම, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ප්‍රකාරව සිදුව ඇති බව ද ඔහු දැනුවත් කළේය.
පෙත්සම්කාර සුගත් මෙන්ඩිස් ශානි අබේසේකර සමඟ අත්අඩංගුවට පත්ව, මාස එකොළහක්, රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇත.