කීර්ති ප්‍රනාන්දු –
වත්මන් පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩුවන පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නිලන්ත ජයවර්ධන හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – බස්නාහිර පළාත දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානම් වන්නේ නම් ඒ සම්බන්ධ කොළඹ අග රදගුරු වශයෙන් සිය බලවත් කණස්සල්ල නිල වශයෙන් ප්‍රකාශ කරන බව මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනාම සිය රාජකාරි වගකීම බරපතල ලෙස පැහැර හැර ඇති ආකාරය පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් එවැනි පුද්ගලයින් රටේ පොලිස්පති ධුරය දැරීම සඳහා නම් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට ඉඩහැරීම සම්බන්ධව වඩාත් වගකිවයුතු පුද්ගලයා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බව ප්‍රහාරය ගැන සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රකාශ කර ඇතැයි කාදිනල් හිමියෝ පෙන්වා දෙති.
එමෙන්ම පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පාස්කු අපරාධය සිදුවන්නට ඉඩ හැරීම සම්බන්ධව එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙත සාපරාධී වගකීමක් ඇති බව සඳහන් කර ඇති ආකාරය පෙන්වා දෙන කාදිනල් තුමෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු සාපරාධී වගකීමක් දරන බව අධිකරණයෙන් ද තහවුරු කර ඇති අයුරු පැහැදිලි කරති.
එමෙන්ම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු ප්‍රහාරය සිද්ධවන අවස්ථාවේ දී උතුරු කොළඹ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති බව මතු කරන කාදිනල්තුමෝ විනාශය සිදුවීමට පෙර එම තොරතුරු සම්ප්‍රේක්ෂණය කළ පණිවිඩකරුවා ලෙස ක්‍රියා කළා මිස ඔහු විනාශය වැලැක්වීමට පියවර නොගත් බව පාස්කු කොමිසමේ අවසන් වාර්තාව උපුටා දක්වමින් කාදිනල් හිමියෝ අවධාරණය කරති. කොමිසම නිර්දේශ කර ඇත්තේ මෙම පුද්ගලයාට එරෙහි විනය පරීක්ෂණයක් කිරීමට බව කාදිනල් හිමියෝ පෙන්වා දෙති.
බොරැල්ලේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවූ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කළ ආකාරය මුලුමනින්ම විකෘතියක් වූ අයුරු කාදිනල්තුමෝ පැහැදිලි කරති.
දේශබන්දු තෙන්නකෝන් ට මේ වනවිට ජනතාව තබා ඇති විශ්වාසය බරපතල ලෙස හීන වී ඇතැයි ද උන්වහන්සේ ජනපති වෙත දන්වති.
කාදිනල් තුමා පවසන්නේ මෙම නිලධාරින් දෙදෙනාට පොලිස්පති ධූූරයට පත්වීම තබා එම ධූරයට ඉල්ලුම් කිරීමට තරම්වත් නිපුණාවයක් හෝ වෘත්තීමය ක්රියාකාරීබවේ කැපී පෙනෙන ලකුනුක් නොපෙනෙන බවය. එම ලිපිය පහත දැක්වේ.








