ලලිත් චාමින්ද –
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2005 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාලපරිච්චේදය තුළ සේවය කරනු ලැබු ජ්‍යෙෂ්ඨ සහකාර මුල්‍යාධිකාරිවරයා විසින් රුපියල් 50,338,159ක ( පන් කෝටි තුන් ලක්ෂ තිස් අට දහස් එකසිය පනස් නවයක) මුදලක් වංචාකර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම 5,000,000ක මුදලක් මාස 06 ක පමණ කාලයකදි අයථා ලෙස පරිහරණය කොට ඇති බවද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ. මෙම ගනුදෙනු හේතුවෙන් ආයතනයට හිමිවිමට තිබු රුපියල් 24,346,723 පමණ පොළි මුදලක් අහිමිවි තිබු බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
මුල්‍යාධිකාරිවරයා විසින් අනුමැතියකින් හා අවශ්‍යතාවයකින් තොරව ස්ථාවර තැන්පතු නිදහස්කර තිබු අතර එම මුදල් හා පොළී මුදල් නිසි පරිදි බැංකුගත කිරීමට හෝ පියවරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම නිසි පරිදි කටයුතු සිදුකිරීමට සම්බන්ධිත පාර්ශව කටයුතු කර නොතිබුණු අතර බැංකුව විසින් ද තම වගකීම් නිසි පරිදි ඉටුකිරීමට කටයුතුකර නොතිබු බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පාඨමාල සඳහා ලියාපදිංචිවන සිසුන්ගෙන් ඒ සඳහා ගාස්තු අයකරනු ලබන අතර එය පීඨයේ ආදායම වේ. එසේ රැස්කරනු ලබන ආදායමේ අතිරික්තය ආයතනය විසින් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණි. එම ආයෝජනය නිදහස් කරගැනීමෙන් මෙකී මුදල් වංචාව වි ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අරමුදල් ස්ථාවර තැන්පතුවල ආයෝජනය පිළිබඳව මෙම විශේෂ විගණන වාර්තාව නිකුත්කොට තිබුණි..