වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය උපාධි අපේක්ෂක ඉන්ද්‍රඛීල මාදොල , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්‍ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමණාකරණ පීඨයේ ජේෂ්ඨ මහාචාර්‍ය කපිල යකන්දාවල ඇතුළු පර්‍යේෂණ කණ්ඩායම විසින් ලංකාවට ආවේණික නව කෙටල විශේෂයක් එහි ප්‍රභේද දෙකක් සහිතව හඳුන්වාදී ඇත.
අද (04) දින Phytotaxa සඟරාවේ 567-02 වෙළුම මගින් ප්‍රකාශිත මෙම නව විශේෂය Lagenandra peradeniyae නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෞරව පිණිස නම් කර ඇති අතර.එහි Lagenandra peradeniyae var peradeniyae සහ Lagenandra peradaniyae var speciosa නමින් ප්‍රභේද දෙකක් පවතින බවද එම පර්‍යේෂණ පත්‍රිකාව මගින් හඳුන්වාදී තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ තෙත් කලාපය (බස්නාහිර පළාත) ආශ්‍රිතව ඉතාම සීමිත ගහණයකින් පමණක් වාර්තාවන අතර එම නිසාම අන්තර්ජාතික රතු දත්ත වර්ගීකරණ නිර්ණායක වලට අනුව Critically Endangered එසේ නැතිනම් අතිශය අන්තරායට ලක්වූ විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.
මෙම හඳුන්වාදීමත් සමග ලංකාවට ආවේණික කෙටල විශේෂ සංඛ්‍යාව 12ක් (මුළු විශේෂ 13) දක්වා ඉහල යන අතර ලෝකය පුරාම හමුවන මුළු කෙටල විශේෂ ගණන 20ක් දක්වා ඉහල යනු ඇත.
Lagenandra ගනයට අයිති ශාක විශේෂ ලංකාව,ඉන්දියාව සහ බංගලාදේශය ඇතුළු දකුණු ආසියානු කලාපය තුළ පමණක් හමුවන ශාක ගණයක් වන අතර මිරිදිය ජලාශ්‍රිත ප්‍රදේශවල හමුවෙන මෙම ශාක විසිතුරු ජලජ ශාකයක් ලෙස එකතු කිරීම,වාසස්ථාන විනාශ වීම,ජලය අපවිත්‍ර වීම වැනි කරුණු රාශියක් නිසා දැඩි තර්ජනයන්ට මුහුණ දී ඇත.
මෙම පර්‍යේෂණ කණ්ඩායම විසින් හඳුන්වාදුන් මෙම ගණයට අයත් සිව්වන ආවේණික නව විශේෂය මෙය වන අතර මීට පෙර වයඹ විශ්වවිද්‍යාලය නමින් Lagenandra wayambae සහ Lagenandra srilankensis, Lagenandra kalugalensis නමින් නව විශේෂ 3ක්ද හඳුන්වාදී ඇත.
https://www.mapress.com/pt/article/view/phytotaxa.567.2.1







