මෙම බැරෑරුම් අවස්ථාවේ මාධ්‍ය මෙයට වඩා ප්රගතිශීලී ව ප්‍රශ්න පිළිබඳව කතා කළ යුතු බවත් පේරාදෙණිය ගැටලුව විසඳා තිබියදී දිගින් දිගටම ඒ ගැන කතා කිරීම මගින් සමාජ මතයක් ගොඩනැගීමට ඇතැමුන් උත්සාහ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
තුවාලයකට බෙහෙත් දමා සුව කළ පසු ද සුව කිරීමට ගත් පියවර ගැන කතා නොකර තවදුරටත් තුවාලය ගැනම කතා කරමින් සිටීම ඵල රහිත බව ද හෙතෙම පැවසුවේය .
ඔහු මේ බව කීවේ පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ පැවති උත්සවයකින් අනතුරුව අද (30) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
රජයේ රෝහල්වල සැත්කම් සිදු කිරීම සම්බන්ධව මෙතෙක් ගැටලුවක් ඇතිව නොමැති බවත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් මතු වුවහොත් රටට ප්‍රකාශ කරන බවත් ඇමතිවරයා කීය
සැත්කම් නතර නොකර ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් ගැටලුවක් ඇතිව නොමැති බැවින් පවතින සම්පත් කළමනාකරණය කර ගනිමින් එම කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් රඹුක්වැල්ල කීවේය .
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් සම්බන්ධයෙන් මතුවූ ගැටලුව මේ වන විට නිරාකරණය කර තිබෙන බවද ඔහු කීය .
විදේශ විනිමය සම්බන්ධ ප්‍රශ්නයක් රටේ තිබෙන බවත් මේ නිසා ඖෂධ ආනයනය කිරීමේදී යම් යම් ගැටලු මතුවන බවත් කී ඇමතිවරයා ප්‍රමුඛතා හඳුනාගනිමින් අදාළ වැය කිරීම් සිදුකරන බව ද අවධාරණය කළේය .
ඉන්දීය ණය ආධාර යටතේ ඩොලර් මිලියන 80 ක ඖෂධ ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බවද සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවේ ය . සෞඛ්‍ය අංශය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවද ඔහු කීවේය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නතර වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වීමත් සමඟ ඉන්දීය විදේශ ලේකම්වරයාගේ අවධානය ද ඒ පිළිබඳව යොමු වූ බවත් ඒ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වී ප්‍රශ්නේ විසඳා තිබූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය .