පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍යවරු 04දෙනෙකු අද (04) පෙරවරුවේ පත් කරනු ලැබුවේය.
විදේශ කටයුතු සහ මුදල් කටයුතු අමාත්‍ය ධුර සහ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සභානායකවරයෙක් සහ ප්‍රධාන සංවිධායකවරයෙක් පත් කරගැනීමට අවශ්‍ය බැවින් මෙම ඇමතිවරුන්ගේ පත්කිරීම සිදුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
රටේ පවතින ජාතික අභියෝගය විසඳාගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇති බවත් ඔවුන් සමග ඉදිරියේ දී සාකච්ඡා කර, ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (04) පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ අධ්‍යාපන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන, (සභානායකවරයා) විදේශ කටයුතු ඇමති ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාමාර්ග ඇමති ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු (ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක) මුදල් ඇමති ලෙස අලි සබ්‍රි දිවුරුම් දුන් අවස්ථාව පහත දැක්වේ.