හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවති නඩු කටයුතු අද (27) අවසන් කෙරිනි.
අද එම නඩුව කැඳවූ අවස්ථාවේ දී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූයේය..
එබැවින් ඔවුන්ට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සංජය ගමගේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මුල් කරගෙන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.