මනම්පිටිය නිමල් ජයරත්න –
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පුරාවිද්‍යාව වටිනා වටිනාකම් ඇති ස්ථාන කිහිපයක් පසුගිය දින කිහිපය පුරාම සංවිධානාත්මක නිදන් හොරු කණ්ඩායමක් විසින් කැණීම් කර තැන තැන ගිනි තබා බරපතළ හානි සිදුකර තිබෙන බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියෝ සඳහන් කළහ,
කූඩාරම් තනා ගනිමින් ඉහුම්, පියුම් කර එම ස්ථානවල රැඳී සිට ඇති පුරාවස්තු හොරුන් ඖෂධ පොකුණ, කොස් ගහගහඋල්පොත ඇතුළු වටිනා පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන රැසක මේ විනාශය සිදුකර ඇති බව උන්වහන්සේ කියති.
අද (22) සවස විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ ඉල්ලා සිටියේ මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කර ආරක්ෂාව තහවුරු කරන ලෙසය.
සංවිධානාත්මක පුරාවස්තු හොරුන් පොසොන් සමයේ සිට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ සැඟව සිටිමින් රාත්‍රී සහ දහවල් කාලයේදී මෙම පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන කැණීම් සිදුකර ඇති උන්වහන්සේ හෙළි කළහ.
අද (22) සවස අරලගංවිල විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ විහාරස්ථානයේ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් එම පුරාවස්තු සංහාරය සිදුකර ඇති ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීමේදී ඔවුන් විසින් දමාගිය කූඩාරම්, බඩු, වළං මුට්ටි රැසක් සොයා ගෙන තිබිණි.
අනුරාධපුර සහ පොලොන්නරුව රාජධානියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පූජා භූමිය සහ කඳු මුදුනේ පුරාවස්තු රාශියක් විසිරී පවති. මේ සමගම මෙම වනභූමියේ දඩමස් ජාවාරමක්ද ඇරඹී ඇති බව නා හිමියෝ කීහ.
අප මේ සම්බන්ධයෙන්ව අරලගංවිල විශේෂ කාර්ය බලකා කඳවුරෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ සංවිධානාත්මක පුරාවස්තු හොරුන් කණ්ඩායමක් දිඹුලාගල කඳු මුදුනේ කැණීම් සිදුකර ඇති බවත්, ඒ සම්බන්ධ පුළුල් පරීක්ෂණ කටයුතු සිදුකරන බවත්ය.