සූරියවැව නුවන් ජයසේකර –
තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවට වෛද්‍යවරයෙකු පැවසුවයි කලකිරීමෙන් සිටි උඩවලව ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර තණමල්විල අලිමංකඩ රක්ෂිතයේ තිබී අද (11) අලුයම තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
මෙලෙස මියගොස් සිටියේ අංක 242/4, තණමල්විල පාර,උඩවලව පදිංචි ගුණරත්න ඒකනායක නමැති තිදරු පියෙකි.
තනමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් අලිමංකඩ රක්ෂිතය තුළ ගෙල වැලලාගෙන මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තණමල්විල මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමේදී ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ නරක් වී ගිය සිරුරක් හමුව තිබේ.
පසුව ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වීඇත්තේ මියගිය පුද්ගලයා මීට දින කිහිපයකට පෙර නිවසේ ලියුමක් ලියා තබා තමන් ගැන යළි නොසොයන ලෙසට දැනුම් දී නිවසින් පිටව පැමිණ ඇති බවයි. දරුවන් විසින් පියාව සොයා ඇති බවත් සොයා ගැනීමට නොහැකි වී තිබේ. දරුවන් විසින් මේ පිළිබඳව තණමල්විල මූලස්ථාන පොලිසියටද මීට දින කිහිපයකට පෙර දන්වා තිබේ. ඒ අනුව සොයාගත් සිරුර සිය පියාගේ බවට දරුවන් විසින්ද හඳුනාගෙන ඇත.
මියගිය පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයකු වන අතර ඔහුට පැවති අසනීපයක් සඳහා අවස්ථා කිහිපයකදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාරද ලබාගෙන තිබේ. එහිදී එම වෛද්‍යවරයා පවසා ඇත්තේ ඔහුට පිළිකාවක් ඇති බවයි. මේ හේතුව නිසා මියගිය පුද්ගලයා දැඩි සිත් තැවුලෙන් පසුව සිට ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තනමල්විල මූලාස්ථාන පොලිස්පරීක්ෂක ඩී.එම්.පී.බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.







