ඓතිහාසික පොළොන්නරුව රාජධානියට අයත් වටදාගේ නැගෙනහිර දොරටුව අසල පුරාණ ගල කිහිපයක් යන්ත්‍රයක් උපකාරයෙන් සිදුරු කර බිද පුපුරුවා හැරීමට උත්සාහ කර තිබේ.
ලොකයේ පවතින විශිෂ්ඨම පෞරාණික වාස්තු විද්‍යා උරුමයක් සේ සැලකෙන ලෝක ප්‍රකට මේ විශිෂ්ට උරුම සම්පත මෙවැනි විනාශයකට ලක් වෙමින් ඇත්තේ පැය 24 පුරාම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවල් කරුවන්, සිවිල් ආරක්ෂකයින් සහ පොලිසිය ආරක්ෂාව සපයමින් සිටිය දී වීම විශේෂය.
පොලොන්නරුව පූජා භූමිය තුළ ගල්විහාරයට නුදුරින් පොලිස් මුරපොලක් පැවතිය ද මෙම මුරපොලේ නිලධාරීන්ගේ ප්‍රමුඛ රාජකාරිය වී ඇත්තේ පුරාවිද්‍යා භූමියේ සංචාරක මග පෙන්වන් ලෙස කටයුතු කරමින් මුදලක් උපයා ගැනීම බවත් නිල ඇඳුමටත් අගෞරවයක් වූ මෙම කණ්ඩායම රැකවලේ සිටිය දී පුරාවස්තු විනාශය පමණක් නොව, ගල්විහාර භූමියට නුදුරු රක්ෂිතයෙන් පැමිණෙන මුවන් පූජා භූමිය තුළම දඩයම් කිරීම සිදුවන බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
කෙසේ වෙතත් පුරාණ වටදාගෙය භූමියේ ඓතිහාසික පාෂාණ ඇතුරුමේ කොටසක් බිඳ දැමීම සඳහා විදුලි විදින යන්ත්‍රයක් භාවිතා කිරීමට අවශ්‍ය විදුලිය ලබාගෙන ඇත්තේත් වටදාගෙය අසල ඇති මුරකුටියෙන් බවට සැක කරන්නේ යැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර ඇත.
මෙම විමර්ශන කටයුතු පිළිබඳ නිරන්තරයෙන් අවදියෙන් සිටින බව පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියෝ ලංකාසරට පැවසූහ.