2019 වසරේ අප්‍රේල් මාසයේදී සිදු වූ පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව සිට රහසිගතව වෙනත් රටකට පලා ගිය බව සැලකුණු කාන්තාවක වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් 2019 අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදුවේදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී මිය ගොස් ඇති බව ඩීඑන්ඒ පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම කාන්තාව ජීවිතය බේරාගෙන පළා ගිය බවට පළ වූ මත හේතුවෙන් සයින්දමරුදුවේදී මිය ගිය පුද්ගලයින්ගේ ඩීඑන්ඒ පරීක්ෂාවේදී සාරා නැමැති අන්තවාදී කාන්තාවගේ මවගේ ඩීඑන්ඒ සාම්පල සමඟ එම සාම්පල සැසදීමට අධිකරණ නියෝගයක් මත කටයුතු යෙදවිණි. එහිදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තුන්වෙනි වරටත් ලබා ගන්නා ලද අස්ථි කොටස් කීපයක ඩීඑන්ඒ සාම්පල සාරා නැමැති කාන්තාවගේ මවගෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල සමඟ බොහෝ දුරට සැසදුණු බව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තහවුරු කර ඇත.
මෙම සැසඳීම මවක හා දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සබඳතාවය තහවුරු වන ප්‍රතිඵලයක් බවත් ඒ අනුව මිය ගිය අයගෙන් ලබා ගත් අස්ථි සාම්පල සමඟ රාජරත්නම් කවිදා නැමැත්තියගේ සාම්පල සැසඳූ පසු ඇය, සාරාගේ ජීව විද්‍යාත්මක මව වීමට ඇති සම්භාවිතාව සීයට 99.999ක් බව තහවුරු වී ඇති බව ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව තිබූ බව පොලිසිය පවසයි.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
අධිකරණ නියෝගයක් මත සිදු කෙරුණු මෙම ඩීඑන්ඒ පිළිබඳ වාර්තාව ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සඳහන් කරයි.