පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය පරීක්ෂණ ගණනාවක් සිදුකර කරුණු බොහොමයක් අනාවරණය කරගෙන ඇතත් ඊට සම්බන්ධ මහමොළකරුවන් අනාවරණය නොකිරීම බරපතළ ගැටලුවක් බව මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා පවසයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් තවමත් රාජකාරියේ නිරතව සිටින බවද පියතුමා පැවසුවේය.
පාස්කු ප්‍රහාරයට වසර පහක් සපිරී තිබියදීත් වින්දිතයින්ට යුක්තිය ඉටු නොවුණු බව කියමින් මහනුවර මානව හිමිකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මහනුවර ක්‍රිස්තියානි සභා එකමුතුව ඇතුළු සංවිධාන ගණනාවක සහභාගීත්වයෙන් ඊයේ (21) මහනුවර ජෝදිය ද සිල්වා උද්‍යානය ඉදිරිපිට පැවති විරෝධතාවයට එක්වෙමින් නන්දන මනතුංග පියතුමා මේ බව ප්‍රකාශ කළේය.
දැනට සිදු කර තිබෙන පරීක්ෂණ මගින් ප්‍රහාරයේ මහමොලකරුවන් කවුද කියා අනාවරණය වී තිබෙන බවත් ඔවුන් සම්බන්ධ තොරතුරු නොසඟවා රටට හෙළි කරන ලෙස රජයට බල කරන බවත් පියතුමා කීවේය.
පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුද යන්න තමන් දන්නා බව පවසමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් බවත් එම ප්‍රකාශය මේ වන විට අධිකරණයට ලබා දී තිබෙන බවත් කී නන්දන මනතුංග පියතුමා හිටපු ජනපතිවරයා හෙළිදරව් කළ කරුණු දැනගැනීමට මෙරට ජනතාවට අයිතියක් ඇතැයිද අවධාරණය කළේය.
මෙම විරෝධතාවට කතෝලික පියතුමන්ලා සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ද ඇතුළුව පන්සියයක පමණ පිරිසක් සහභාගී වූහ.
එම පිරිස මහනුවර යහපත් එඬේරාගේ කන්යාරාමය ඉදිරිපිට සිට විරෝධතා පුවරු රැගෙන පාගමනින් මහනුවර ජෝදීද සිල්වා උද්‍යානය ඉදිරිපිටට පැමිණ සාමකාමී විරෝධතාවක නිරත වූහ.