ඉඳුනිල් කහටපිටිය…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ දී උසස් පොලිස් නිලධාරියෙකුට එරෙහිව සාක්ෂි දුන් නිසා මත් ද්‍රව්‍ය චෝදනාවකට ලක් කර අගතියට පත් කළ බව අධිකරණයේ දී කියැවුන එවකට ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් ගලගෙදර මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක විසින් ඊයේ (19) නිදොස් කොට නිදහස් කළේය.
ගංජා සන්තකයේ තබා ගැනීමේ වරද මුල් කරගෙන පොලිසිය විසින් මෙම පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදරිපත් කර නඩු පවරා තිබිනි.
මහේස්ත්‍රාත්වරයා ඊයේ මෙම විත්තිකරුව නිදහස් කරනු ලැබුවේ පොලිසිය විසින්ම ඔහුට විරුද්ධව ගොනුකළ සාක්ෂි පරස්පර විරෝධී බව පෙන්වමිනි.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
වර්ෂ 2021/6/20 දින ත්‍රස්තවාදී විමර්ෂන ඒකකයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියෙක් වන A.M.K.G චමින්ද බණ්ඩාර අබේසිංහ සහ ත්‍රීරෝද රථ රියදුරක් වන T.M.G.G අමිල පුෂ්පකුමාර විජේරත්න නැමැති පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට පත් වූයේය. පොලිසිය පැවසුවේ පළමු චූදිත පොලිස් නිලධාරියා සන්තකයේ ගංජා පාර්සලයක් තිබුණු බවය.
වර්ෂ 2021/06/20 දින නඩු අංකය 7543 /22 යටතේ ගංජා සන්තකයේ තබා ගැනීම සම්බන්ධව චෝදනා එල්ල කරමින් පොලිසිය ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුයුක්තව කොළඹ ප්‍රදේශයේ සේවයේ නියුතුව සිටි මෙම පොලිස් නිලධාරියා ගංජා සමග අත් අඩංගුවට ගන්නා බව කියැවෙන්නේ ඔහු නිවාඩුවට පූජාපිටිය ප්‍රදේශයේ ඇති සිය නිවසට ත්‍රීරෝද රථයකින් පැමිණෙමින් සිටියදී ය.
පූජාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රථය නවත්වා පරීක්ෂා කිරමේදී පළමු චූදිතගේ ගමන බෑගය තුල ගංජා පාර්සලයක් තිබූ බවට පොලිසිය චෝදනා කළේය. අනතුරුව එම චෝදනාව ම ත්‍රීරෝද රථයේ රියදුරුටත් එල්ල කළේය. පසුව ඔවුන් දෙදෙනාම ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. මේ චෝදනාව නිසා ත්‍රස්ත විමර්ශන ඒකකයේ සේවය කළ චූදිත පොලිස්ස නිලධාරියාගේ වැඩ තහනමට ලක් විය.
තමන් මේ චෝදනාවට නිවැරදි කරුවන් බව ඔවුහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළහ. අනතුරුව නඩුව විභාගයට ගැනුණි. විත්තිය අධිකරණයේ දී ප්‍රකාශ කළේ මේ සිදුවී ඇත්තේ පාස්කු කොමිසමේ සාක්ෂි විමර්ශනයේදී ඉහල පොලිස් නිලධාරියෙකුට එරෙහිව සාක්ෂි ලබා දීම හේතුවෙන් සිදුකළ පළි ගැනීමක් බවය. මෙම නඩුවට අදාල චෝදනා අසත්‍ය බවත්, පළමු චූදිත පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සන්තකයට මත්ද්‍රව්‍ය දමා බවත් විත්තියේ නීතිඥවරු අධිකරණයට කියා සිටියහ.
පැමිණිල්ලේ සාක්ෂි සහ විත්තියේ සාක්ෂි විමසීමෙන් අනතුරව ගලගෙදර මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක විසින් ඊයේ (19) දින තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. මහේස්ත්‍රාත්වරයා පැවසුවේ වැටලීම සිදු කරන ලද පැමිණිල්ලේ සාක්ෂි අංක 01 සහ 03 ලෙස සාක්ෂි ලබා දුන් නිලධාරීන්ගේ සාක්ෂි එකිනෙකට පරස්පර බවය.
එබැවින් විත්තිකරුවන් චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කරන බව තීන්දුව ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා කීවේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ ශාලිකා ගුණසේකර මෙ සමඟ නීතීඥ සුපුන් රාජපක්ෂ පෙනී සිටියේය.