ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාට පසුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරීන් තිදෙනාවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්. පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 07ක් වෙත ඉදිරි දින කීපය තුළ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාල චෝදනා පත්‍ර භාර දීමේ සූදානමක් ඇති බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාස්කු කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශවලට අනුව මෙම චෝදනා පත්‍ර භාර දීමට නියමිතව ඇත. එම නිර්දේශ අනුව මුල් අවස්ථාවේ පොලිස් නිලධාරින් 11 දෙනෙක් වෙත එම චෝදනා පත්‍ර භාර දිම සඳහා පොලිස් මූලස්ථානය විසින් අවශ්‍ය පියවර ගෙන තිබී ඇත.
එහෙත් ඒ වනවිට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු වී තිබූ මූලික අයිතිවාසිකම් නඩු විභාගය අවසන් වනතුරු මෙම නිලධාරින් 11 දෙනාට එරෙහි චෝදනා පත්‍ර භාර නොදෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානය වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.
එම නිලධාරීන් 11 දෙනාගෙන් 04 දෙනෙක් මේ වනවිට විශ්‍රාම ගොස් තිබේ.
පසුගිය 12 ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් තිබූ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වී ඇති නිසා නීතිපති උපදෙස් ලද වහාම දැනට සේවයේ සිටිනා නිලන්ත ජයවර්ධන, එල්.එස් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 07 දෙනෙක් වෙත චෝදනා පත්‍ර භාරදෙනු ලබන බවත් පොලිස් මූලස්ථානය පවසයි.
අපරාධ වරදක් සම්බන්ධව චෝදනා පත්‍රයක් ලද නිලධාරියෙකුට කිසිම තනතුරක් දැරීමට ඇති සුදුසුකම අහෝසිවන බැවින් ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයේ ධූරාවලිය බරපතල ලෙස විතැන්වන බවත්, ඒ අනුව මාර්තුවේ දී විශ්‍රාම යෑමට නියමිත පොලිස්පතිවරයාගෙන් පසු එම ධූරයට පත්වන නිලධාරියා සම්බන්ධව යළිත් සංකීර්ණ තත්ත්වයක් ඇතිවන බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.