පාස්කු ඉරිදා සංහාරයේ මහ මොළකරු තමා දන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දී ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය අතරතුර සියල්ල හෙළි කිරීමට සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඊයේ (06) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ පරිදි අලුත් අවුරුද්දෙන් පසු පළමු වරට අප්‍රේල් 24 වැනි දින රැස්වන පාර්ලිමේන්තු සභාවාරයේ දී මේ ප්‍රස්තුතය මුල් කරගෙන තෙදින විවාදයක් ගැනීමට නියමිතය.
ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගය විවාදය ඉල්ලා සිටියේ 2019 වසරේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූ විට රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයේ ඇත්ත රටට දැන ගැනීමට අවශ්‍යබවට වූ පදනම මතය.
පසුගියදා හිටපු ජනාධිපති සිරිසේන ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තමන් දන්නා බව කීමත් සමග රට තුළ අලුත් ආන්දෝලනයක් ඇති කළේය. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඔහුගෙන් පැය ගණනක් ප්‍රශ්න කළේය. අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසද ඔහුට දන්වා තිබූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයේ අසල්වැසි රටක නමක් ඇතුළත් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඔහු දන්නා දේ පාර්ලිමේන්තුවට හෙළි කිරීමට ඔහුට දැන් සිදුවනු ඇත.
මේ සම්බන්ධව රට පැහැදිලි කිරීමක් කළ යුතු පදනම මත සියලු තොරතුරු හෙළි කරන ලෙස බොහෝ පාර්ශව ඔහුගෙන් ඉල්ලා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී වාද විවාද ඇති වී තිබේ.