සූරියවැව නුවන් ජයසේකර –
කුඩා ඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය වසා දැමිමට බලධාරීන් ගත් තීරණයට විරෝධය පළකරමින් එම විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් හා සිසු දරුවන් එක්ව ආරම්භ කෙරුණු විරෝධතාවය ඊයේ (23) සිට මාරාන්තික උපවාසයක් බවට පත්ව තිබේ.
උපවාසය දෙවැනි දිනයට අද මේ වනවිටත් ක්‍රියාත්මකව ඇත.
විරෝධතාවය හා උපවාසයට එක්ව සිටින දෙමාපියන් පවසන්නේ කුඩාඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයට පසුගිය වසරේදීද පළමු ශ්‍රේණිය සදහා දරුවන් බඳවාගත් බවත්,එම දරුවන් පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී එකවරම පාසලේ ප්‍රාථමික අංශය වසා දැමීමට බලධාරීන් තීරණය කිරිම ඉතා අසාධාරණ බවයි.
බළධාරීන්ගේ මෙම තීරණයට විරෝධය පළකරමින් දෙමාපියන් හා සිසු දරුවන් එක්ව 22 වන දින පෙරවරුවේ විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කෙරුණු නමුත් වගකිවයුතු බළදාරීන් කිසිවෙකුත් මේ සදහා නිසි ප්‍රතිචාර නොදැක්විම හේතුවෙන් උපවාසයට එක්ව සිටි දෙමාපියන්ගෙන් පිරිසක් ඊයේ (23) දින දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
උපවාසයට එක් වු දෙමාපියන් චෝදනා කරන්නේ බලධාරීන් ගත් මෙම තීරණය නිසා සිසු දරුවන් දැඩි අපහසුතාවයට පත්වන බවය. ගමේ ඇති පාසල දිහා බල බලා දරුවන්ට වැඩි මුදලක් වියදම්කර වෙනත් පාසලකට යාමට සිදුව ඇති බවය.
වැල්ලවාය අධ්‍යාපන කාලපයට අයත් කුඩා ඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ මේ වන විටත් දරුවන් තිස් දෙදෙනකු ඉගෙනුම ලබන බවත් ප්‍රාථමික අංශයේ සිටි එකම ගුරුවරියද මේ වන විට පාසලෙන් ඉවත් කර ඇති බවත් ඒ හේතුව නිසා පාසල් දරුවන්ගෙ අධ්‍යාපන කටයුතුද මේ වන විට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් දෙමාපියෝ පවසති.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට තිබූ පරිදිම කුඩාඔය විද්‍යාලයේ ප්‍රාථමික අංශය නැවත ලබා දෙන ලෙස උපවාසයේ නිරත දෙමාපියන් සහ දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.