මනම්පිටිය නිමල් ජයරත්න –
ලංකාවට පහුගිය වකවානුවේ ගෙනැවිත් ඇති මත් ද්‍රව්‍ය ප්‍රමාණය වසර 10 කට ඉවර කරගත නොහැකි බව නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් පැවසීය. ඔහු කියන්නේ ජාතියේ අපච්චිලාගේ පාලන වකවානුවල ජාතියට ලබා දුන් “දායාදය” ඒ තරම් බිහිසුණු බවය.
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මේ අදහස් පලකර සිටියේ පොළොන්නරුව අරලගංවිල මැදගම මහා විද්‍යාලීය දරු දැරියන්ගේ හිසවෙස් පැලඳවීමේ මංගල්‍ය වෙනුවෙන් එම පාසල මගින් පසුගියදා සංවිධානය කර තිබූ අග්නි මෞලි කලා මංගල්‍යයට සහභාගිවීමෙන් අනතුරුව සිය අදහස් දක්වමිනි.
මෙහිදී එම පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 38 දෙනෙකු හිස වෙස් හා පායිම්පත් පැලඳි අතර එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්යක්ෂ පී.ජී.එස් .අනිල් කුමාර, අරගලගංවිල මැදගම මහා විද්‍යාලයේ විදුහල්පති ගුරුවරු සිසු දරු දැරියම් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මෙසේද පවසා සිටියේය.
“මේවනවිට අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි මේ රටේ පාසල් දරුවන් මත් ද්‍රව්‍ය ජාවාරම් වලින් බේරා ගැනීම. ඒ වෙනුවෙන් අපි මේවනවිට කටයුතු කරමින් ඉන්නවා. ඔබ දුන්නු චන්දයේ වටිනාකමට අප දවසින් දවස වටිනාකමක් එකතුකරමින් ඉන්නෙ.”
“දැන් අඬන වැලපෙන ජාතියේ අප්පච්චී කියන පුද්ගලයා තමයි එදා මහා පරිමාණයෙන් මත් ද්‍රව්‍ය ගෙනාපු ජාවාරම්කරු හෙලිකොප්ටරයෙන් ගිහිල්ලා බදාගෙන බේර ගත්තේ. එදා නාකොටික් එකේ නිළධාරීන් ඒ නිසා ආපහු හැරිලා ගියා.”
“අපේ රටේ මත්ද්‍රව්‍ය උවදුරට වැඩියෙන්ම ලක්වෙලා ඉන්නෙ අපේ රටේ පාසල් දරුවන්. ඒ නිසා අපේ රටේ පාසල් දරුවන් වගේම මේ රටේ මත්ද්‍රව්‍ය ලට ඇබ්බැහිවෙලා ඉන්න තරුණයින් එයින් මුදවා මේ රට මත් ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු අපි ඉදිරියේදී සිදු කරනවා.”
“එහෙම සිදු කරන කොට තමයි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරපු කර්මාන්ත ශාලා පවා මේ වනවිට හමු වෙන්නෙ. කුඩු අයිස් වලට වගේම පාතාලය බිහිවීමට අනුබල දුන්නේ පැවති රජයන්, පාතාලය ආරක්ෂා කෙරුවේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව. අද අපේ දරුවන් තරුණයන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේ මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි ඒවාට ඉතා කඩිනමින් විසඳුම් සොයමින් පවතිනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ පාසල්වල භෞතික සම්පත් වර්ධනය කරනවා වගේම මානව සම්පත් ලබාදීමට වත්මන් රජය මැදිහත් වෙලා තියෙනවා.
ඒ සියලු ගැටලුවලට ඉදිරි වසර කිහිපය තුළ අපි විසඳුම් ලබාදීමට ජාතික ජන බලවේගය රජයක් හැටියට පොරොන්දු වෙනවා.” යැයි ටී.බී. සරත් මෙහිදී වැඩිදුරටත් කිව්වේය







