කීර්ති ප්‍රනාන්දු –
මීට දෙමසකට පෙර පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත් වී බිත්තර සඳහා සහතික මිලක් නියම කරමින් පැනවූ අවිද්‍යාත්මක ගැසට් පත්‍රය නොවන්නට මේ වනවිට බිත්තර මිල පවතින්නේ රුපියල් 35කට අඩු සීමාවක බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පවසයි.
බිත්තරයක නිශ්පාදන වියදම රුපියල් 46.50ක්ව තිබිය දී රුපියල් 35ක සහතික මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයත් සමග ලක්ෂ දෙකකට ආසන්න කිකිළියන් ප්‍රමාණයක් මස් සඳහා විකිණීම බිත්තර නිශ්පාදනය මේ මට්ටමට අඩු වී මිල ඉහළ යැමට හේතුව බව සභාපතිවරයා පෙන්වා දෙයි.
ලංකාසරට අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.
“ බිත්තර මිල මස් මිල අපට පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. යෙදවුම්වල මිල වැඩිවීම නෙමෙයි ප්‍රධාන වශයෙන්ම මිල ඉහළ යන්න හේතුව වෙලා තියෙන්නේ. නිශ්පාදන ධාරිතාවේ අඩුවීමක්.“
“බිත්තර කර්මාන්තයේ යෙදිලා ඉන්න ගොවීන්ගෙන් සියයට 70ක් ඉන්නෙ වයඹ. පාරිභෝගික සේවා අධිකාරිය බිත්තරයකට රුපියල් 35 ක පාලන මිලක් යොදනවිට රුපියල් 46.50යි නිශ්පාදන මිල. ඒ මිලට විකුණන්න බෑ. ඒ අවස්ථාවෙදි කරි චිකන් කිලෝව 600 -700ක් වුනා බිත්තර දාන කිකිලින් මසට වික්කා. “
“අපි කිකිළියක් හදන්නෙ බිත්තර 320ක් ගන්න. ඒත් බිත්තර 60ක් හැත්තෑවක් දාපු කිකිළියො මසට විකුණලා මස් මිල වැඩි නිසා බිත්තර කර්මාන්තයෙ යෙදුන අය බ්‍රොයිලර් හදන්න ගත්තා. දැන් නැවතත් මස් මිල පහළට එනවා. ඒ එක්කම නැවත ගොවීන් පුරුදු බිත්තර කර්මාන්තයට යනවා.
බිත්තරවලට හදන “ලේයර්“ කිකිළි පැටියෙක් රුපියල් 400ට අලෙවි වෙනවා දැඩි ඉල්ලුමක් සහිතව. මේ මීට මාස කීපයකට කලින් රුපියල් 100 -125ක් වෙච්චි පැටියෙක්. ඒ මිලට අලෙවි වෙනවා කියන්නෙ නැවත බිත්තර කර්මාන්තයට විශාල අවතීර්ණ වීමක් තියනවා. ඒ කියන්නෙ තව මාස දෙක හමාරකින් විශාල සැපයුමක් වෙළෙඳපලට එනවා. ඒ වනතුරු නැවත කඩා වැටීමට ඉඩ නොදී අඩුම තරමින් මාසයක කාලයක් රුපියල් 55ක උපරිම සිල්ලර මිලක් බිත්තරවලට ලබා දෙන්න කියන ඉල්ලීම අපි රජයෙන් කළා.
බිත්තර මිල අපට අල්ලලා තියාගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඉල්ලුම සැපයුම එක්ක තීරණය වන දෙයක්. දැනටත් රුපියල් 48 -49 තොග මිලකට අපි බිත්තර විකුණනවා.
ඉදිරි මාස දෙක ඇතුළෙ අනිවාර්යයෙන් බිත්තර සුලබ වෙනවා. ඒ වගේම මේ වනවිට සහල් බඩඉරිගු මිල අඩුවෙලා. අනෙක් යෙදවුම්වල මිලත් එක්ක බිත්තරය නිශ්පාදන වියදම රුපියල් 30 වෙවි කියලා අපි ඇස්තමේන්තු කරනනවා. උපරිමය බිත්තරයක මිල රුපියල් 35ක් වේවි.
පාරිභෝගික අධිකාරිය ගොවීන් එක්ක එදා සහයෝගයෙන් වැඩ කළා නම් අද බිත්තර මිල මේ ඉහළ මට්ටමේ නෑ. “
සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක කීවේය.