පාන් ගෙඩියක උපරිම සිල්ලර මිල, බර හා ප්‍රමිතිය පිළිබඳව සඳහන් කොට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය විෂය භාර අමාත්‍යවරයාගෙන් හා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ අලෙවිකරනු ලබන පාන්වල මිල, බර හා ප්‍රමිතිය පිළිබඳ ගැටලු දිගු කාලයක සිට පැවති බවත් ඒ පිළිබඳ පැමිණිලි රාශියක් පාරිභෝගික අධිකාරියට වසර කිහිපයක් තිස්සේ සිදු කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් නොගත් බවත් එම සංවිධානය පවසයි.
එහෙත් පසුගිය සතියේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බර අඩු පාන් සොයමින් දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවට මාධ්‍ය සංදර්ශන පැවැත්වූ බවට පාරිභෝගිකයින් චෝදනා කරයි. එහෙත් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මඟින් හෝ වෙනත් කිසිම නීතියක් මඟින් බර අඩු පාන් අලෙවි කරනු ලබන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව කටයුතු කිරීමට ප්‍රතිපාදන සකස් කර නොමැත.
එම තත්ත්වය මත පාරිභෝගික අධිකාරිය සිදු කරන්නේ වෙළඳසැල් වෙත ගොස් පාන්වල බර පරීක්ෂා කොට නිසි බර නොමැති නම් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ මිල ප්‍රදර්ශනය නොකිරීම හෝ එහි සඳහන් වෙනත් වරදක් මත වෙළඳසැලට එරෙහිව නඩු පැවරීමයි.
මෙලෙසින් පාරිභෝගිකයින් හා වෙළෙන්දන් අපහසුතාවයට පත් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නවත්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන්නට කටයුතු කරන ලෙස ‘පාරිභෝගිකයින්ගේ සංවිධානය’ අමාත්‍යවරයාගෙන් හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා සිටියි.







