පුරවැසියෙකුගේ සටහනකි –
මම නීතිඥ වරයෙක්මි. පසුගියදා වලස්මුල්ල අධිකරණයට බාර වූ සම්පත් මනම්පේරි නම් සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා බාර දෙන ලද්දේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයටය. එය වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිගේ පෞද්ගලික අභිමතය අනුව සිඳුවූවක් නොවන බව නීතිඥවරයකු ලෙස මම දනිමි. යම් සැකකරුවෙක් ප්‍රශ්න කිරීමට බාර දීම පිළිබඳව ඉල්ලීම් කිරීම කරන්නේ පොලීසිය මගිනි.
සම්පත් මනම්පේරි සැකකරු පොලීසියට අවශ්‍යව තිබුණේ ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන ආ මෙරට පාතාල ක්රියාකාරිකයන් විසින් ලබා දුන් තොරතුරු මත බව පැහැදිලිය. එම සැකකරුවන් ප්‍රශ්න කරන පොලිස් කොට්ඨාසයන් පිළිබඳවද පොලිස් දෙපාර්මේන්තුව විසින් අනාවරණය කෙරිණි. එහෙත් සම්පත් මනම්පේරි නම් සැකකරු ප්‍රශ්න කිරීම පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයට බාර දීම මා හට බරපතල ප්‍රශ්නයක් මතුවන සිඳු වීමකි. මෙය පොලීසියේ තුළ පැවති රාජපක්ෂ ළබැඳියාවන් බොක්කේ සඟවාගෙන රාජකාරි කරන අදෘශ්‍යමාන ප්‍රධානියෙකුගේ සැළසුමකට සිදු වූ සිද්ධියක්ද යන්න ගැන මට සැකයක් ඇතිවීම හා ඒ සැකය තහවුරු කිරීමට මා දන්නා කියන දේ හොඳම ප්‍රමාණවත් හා සෑහීමකට පත් විය හැකි සාක්ෂි බව මට විශ්වාසය.
ආණ්ඩුවට කෙළවන ආණ්ඩුවේ පොලිස් අමාත්‍යාංශයේ බේබදු ලොක්කා ගැන සැකය…
සම්පත් මනම්පේරි ගැන තොරතුරු අනාවරණය වූයේ ඉන්දුනීසියාවෙන් මෙරටට රැගෙන ආ සැකකරුවන් ප්‍රශ්න කරන විටදී නම් ඔහු ප්‍රශ්න කළ යුතු වන්නේද එම සැකකරුවන් ප්‍රශ්න කළ පොලිස් නිළධාරීන්මය. එහෙත් දැන් සිද්ධ වී ඇත්තේ එම විර්ශනය කරන ලද පොලිස් නිළධාරීන් අත් හැර සම්පත් මනම්පේරි නම් සැකකරු ගේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයට බාර දීමය. එය සම්පත් මනම්පේරි පාතාල ක්රියාකාරකයන් ගෙන් හුදකලා කර ඔහු විසින් සිදු කර ලදැයි පැවසෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පමණක් විමර්ශනය කිරීමේ ප්රයත්නයකි. පොලීසිය මේ වංගුව ගැසුවේ දේශපාලනික අවශ්‍යතාවක් නිසාදැයි විමසිය යුතුය.
පොලීසිය බාර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළම නිළධාරියකු මේ වන විටත් රාජපක්ෂලා හා ඉතා සමීප දෙතුන් දෙනෙකු හා කන බොන යාළු මිත්‍ර කමක් පවත්වාගෙන යමින් සිටී. ආණ්ඩුවේ මේ ජ්‍යෙෂ්ඨයා සමග බම්බලපිටිය පොලිස් භෝජණාගාරයේ ගැවසෙන කන බොන එක අයෙකු ගැන මම හොඳින් දනිමි. ඔහු හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ රවි විද්‍යාලංකාරය.
රවි විද්‍යලංකාර යනු නාමල් රාජපක්ෂට එරෙහිව විභාග වන සුප්‍රසිද්ධ ක්‍රිෂ් නඩුවේ සැකකරුවෙකි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඡ්යෙෂ්ඨයාත් රවි විද්යාලංකාරත් අතර පවතින “බෝතල් චියර්ස්” මිත්‍රකම අද ඊයේ සිට පැවත එන්නක් නොවන බවද ඒ බඩ බැඳ ගත් යාළුකම දෙදෙනා පොලිස් සේවයේ සිටියදී ඇතිවූවක් බවද පොලීසියේ බොහෝ දෙනා දනී. මේ ඡ්‍යෙෂ්ඨයා ගේ අනෙක් මිත්‍රයා ඇවන්ගාඩ් හිමිකරු මේජර් සේනාධිපතිය. මේජර් සේනාධිපති ගේ පියාද පොලිස් සැරයන් වරයෙකි.
රාජපක්ෂලාගේ ජාවාරම්කාර දුෂිත ගණුදෙනු වලට සම්බන්ධ සැකකරුවන් හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨයා සමීපව සම්බන්ධකම් පැවැත්වීම සාමාන්‍ය පුරවැසියන්ට සැක මතු වීම සාධාරණය. මෙය ලියන මා අයත් වන්නේද එම පුරවැසි කුලකයටය.
ආණඩුවේ බලධරයන් ඒ ගැන සිතන්නේ කවර ආකාරයටද යන්න ගැන පවා මට අදහසක් නැත. එහෙත් රාජපක්ෂලා දූෂිතයන් බවට මතය පුරවැසින් තුළ ජනිත කර වීමට මුල් වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ කෙරුම් කාරයන් බව අප අමතක කළ යුතු නැත. එය එසේ වන්නේ නම් ආණ්ඩුවේ ඡ්‍යෙෂ්ඨයකු දූෂිත රාජපක්ෂලාගේ බඩෙගැත්තරයන් සමග එක පතේ කන බොන රෙන විට ඒ ගැන ප්‍රශ්න කරන්නටද පුරවැසියන්ට හිමිකම පවතී. ඒ ප්‍රශ්න වලට වග උත්තර බැඳීම ආණ්ඩුවේ තේරුම්කාරයන්ගේ යුතුකම හා වගකීමය. එසේ නැතුව මූණ වල් කුන්ඩහට්ටි කර ගැනීම ප්‍රශ්න වලට පිළිතුරුද නොවේ.
සම්පත් මනම්පේරි ප්‍රශ්න කිරීමේ වගකීම ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කවුද?
සම්පත් මනම්පේරි ප්‍රශ්න කිරීමට මත් ද්‍රව්‍ය කාර්යංශයට බාර දෙන ලද්දේ මා ඉහතින් සඳහන් කරන ලද මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඡ්යෙෂ්ඨයාගේ මැදිහත් වීමෙන් බව පැවසේ. ඒ තොරතුර සත්‍ය වන්නේ නම් මා දන්නා තොරතුරු හා එය අපූරුවට ගැලපේ.
පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ අධ්යක්ෂවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තය. මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මා දැන හඳුනා ගන්නේ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාව සිටියදීය .මා එවකට බළපිටිය අධිකරණය කළාපය තුළ පදිංචි වී සිටියෙමි. මා නීතිඥවරයකු ලෙස සේවය සපයන ලද්දේ බළපිටිය අධිකරණය තුළ විභාග කෙරුණ නඩුවලට සම්බන්ධ පාර්ශවයන් වෙතය.
අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රශාන්ත එවකට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්දන ගේ අම්බලන්ගොඩ පිහිටි නිවසේදී පෞද්ගලික සාද වලදී අවස්ථා කිහිපයකදී මට මුුණ ගැසී පවා තිබේ.
හේමාල් ප්‍රශාන්ත අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස රෙකමදාරු කර තිබුණේ සජින් වාස්ය. එය සිදු වූයේ එවකට ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චි ගේ මැදිහත් වීම නිසා බවද සජින් වාස් මා සමග පවසා තිබේ. නෙවිල් හා ප්‍රශාන්ත ලේ නෑයන් විය.
කෙසේ වෙතත් ප්‍රධාන පොලිස් පරීක්ෂක්ෂකවරයා සජින් වාස් ගේ කීකරු දාසයෙක් බව මම හොදින් දැන සිටියෙමි. ඔහු විශේෂ කාර්ය බළකායේ සිට සාමාන්‍ය පොලිස් සේවාවට පැමිණි අයෙකි. ඔහු අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ නීතිය හා සාමය රැකීමට උත්සහ කරන ලද්දේ ඇඟ පතේ හා කටේ හයියෙනි. එහිදී පවා ඔහුගේ රාජකාරිය දේශපාලනිකව පක්ෂපාතී විය. ඔහු කෑවේද බිව්වේද නිදා ගත්තේද සජින් වාස් ගේ උපදෙස් වලට යටත්ව බව ප්‍රකට කතාවක් විය. ඔහුගේ ඒ දේශපාලනික රාජකාරිිිය නිසා වැඩි අසාධාරණයට ලක් වූයේ එවකට දකුණේ ප්‍රධාන අමාත්‍යවරයා වූ ශාන් විජයලාල් ගේ පාක්ෂිකයන් හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ය. ශාන් විජයලාල් හා සජින් වාස් එකම දේශපාලන පක්ෂයක සාමාජිකයන් වුවද දෙදෙනා අතර පැවැතියේ නයි මුගටි වෛරයකි.
යට ගිය චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනය
එක් සිද්ධියක් සටහන් කර තබමි. මේජර් ජනරාල් සරත් ෆොන්සේකා මහින්ද රාජපක්ෂට එරෙහිව මෙරට ජනපතිවරණයට තරඟ කළ අවස්ථාවේ මැතිවරණ ප්රචාරක සමයේදී අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රීවරයකු වූ චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනය කෙරිණි. ඔහු අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ජනප්‍රිය ගුරුවරයෙකු විය.
හැඩි දැඩි රූපකායකින් හෙබි ඔහු කුරා කූඹියෙකුටවත් හිංසාවක් නොකරන තරමේ අහිංසකයෙකි. ජනපති මැතිවරණ ප්රචාරක සමයේ රාත්‍රියේ මේජර් ජනරාල් සරත් ෆොන්සේකාට පෝස්ටර් අලවමින් සිටි ඔහු හා තවත් ජවිපෙ ක්‍රියාකාරිකයෙකුට සජින් වාස්ගේ අනුගාමිකයන් කිහිප දෙනෙකු විසින් පොල්වත්ත නම් ප්‍රදේශයේදී ඉතා මෙලෙච්ඡ ආකාරයෙන් පහර දී තිබුණි. එම පහරදීමෙන් පසුව ඔහුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන පොලීසියට බාර දී තිබුණේ සජින් වාස් නීති විරෝධීව තම සේවය සඳහා යොදා ගෙන තිබුණ ජනපති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් සැරයන් වරයෙකි. අනතුරුව මැතිවරණ වරද යටතේ අම්බලන්ගොඩ පොලිස් භාරයට ගත් චන්ද්‍රදාස නයිදුවාවඩු බළපිටිය රෝහල් ගත කෙරිණි. ඔහුට සිදු කළ මෙලේච්ඡ පහරදීම සම්බන්ධයෙන් නොසළකා හැරිණි. ඒ සියල්ල සඳහා මැදිහත් වූයේ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වූ හේමාල් ප්‍රශාන්තය.
නේවාසිකව ප්‍රතිකාර ලැබූ චන්ද්‍රදාස නයිදුවාවඩු එම පහර දීම නිසා ඇතිවූ තුවාල හේතුවෙන් රෝහලේදීම මිය ගියේය. අනතුරුව හේමාල් ප්‍රශාන්ත චන්ද්‍රදාස නයිදුවාවඩුට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. පහරදීමේ වගකීම භාරගත් පුද්ගලයා සම්බන්ධව අදටත් ගටලුවක් ඇත.
සැබැවින්ම වර්තමානයේදී වුවද මේ සිද්ධියට අදාලව සජින් වාස් අත් අඩංගුවට ගත හැකිය. ඔහුට එරෙහිව එල්ල කළ හැකි චෝදනාව වන්නේ ජනපති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිළධාරියකු දැන දැනම තම රාජකාරි සදහා අනීතිකව යොදවා ගැනීමය. ඒ සඳහා උපයෝගී කර ගත හැකි කට උත්තරයක් අම්බලන්ගොඩ පොලීසියේ සටහන්ව තිබේ.
ඒ ජනපති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් වරයා චන්ද්‍රදාස නයිදුවාවඩු අත් අඩංගුවට ගෙන පොලීසියට බාර දුන් අවස්ථාවේ ලබා දී ඇති කට උත්තරයයි. කෙසේ වෙතත් චන්ද්‍රදාස නයිදුවාවඩු ගේ ඝාතනය එවකට තිබූ තත්ත්වය අනුව යට ගියේය. ඒ ඝාතනය පිළිබඳව නිසි විමර්ශනයක් කරන්නේ නම් හේමාල් ප්රශාන්තද ඇතුළට යෑමට ඉඩ තිබේ. ඒ අපරාධයක සාක්ෂි වසන් කිරීමේ වරදටය.
මේ පෙළ ගැසෙන අතාර්කික සිදුවීම්වලට උත්තර අවශ්‍යයයි
සම්පත් මනම්පේරි නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ප්‍රශ්න කිරීමට බාර දෙන්නේ එවන් පැටිකිරියකට හිමිකම් කියන හේමාල් ප්රශාන්තටය. මේ භාරදීම සිදුකරන විටත් සම්පත් මනම්පේරි සම්බන්ධව යට ගැසූ අපරාධවල කොන් මතු වෙමින් ඇත.
අරුණ විදානගමගේ නොහොත් කජ්ජා ඝාතනය කරන ලද්දේ සම්පත් මනම්පේරි ගේ හිමිකාරිත්වය යටතේ තිබෙන බස් රථයේ කොන්දොස්තරවරයාය. එහෙත් මේ වන විටත් පොලීසිය ඒ ගැන සෙවීම යටපත් කර තිබේ. මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ අධ්යක්ෂ හේමාල් ප්‍රශාන්ත සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැනය.
ඒ ප්‍රශ්න කිරීම් පිටුපස නෙවිල් වන්නිආරච්චිගේ රැකවරණය තිබෙන්නට ඇති හැකියාව සම්බන්ධව සාධාරණ සැකයක් අපට මතු වේ. ඒ මන්ද යත් හේමාල් ප්‍රශාන්ත හා නෙවිල් වන්නිආරච්චි අතර තිබෙන ලේ නෑකම රාජකාරියට එහා ගිය බැඳීමක් නිසාය.
නෙවිල් වන්නිආරච්චි හා හේමාල් ප්‍රශාන්ත අතර නෑ සබඳකමක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨයා දහ අතේ දිවුරමින් සිටී. දැන් ආණ්ඩුවේ බලධරයන් කළ යුත්තේ මෙවැනි හෙළිදරවු කිරීම් හරහා සමාජ සංවාදයක් ඇතිකිරීමට උත්සාහ කරන අපව සීඅයිඩිය වෙත දක්කන්නේ නැතිව ඒ දිවුරුම ගැන විශ්වාස නොකර ජාතික බුද්ධි තොරතුරු වාර්තා විමර්ශනයට තීරණය කිරීමය.
යළිත් ලියා තැබිය යුතු අවධාරණාත්මක කතාව
නැවත මේ ගැන අවධාරණය කරමින් මේ පොඩි ලියා තබන්නේ මොළය අංශු මාත්‍රයක් ඇති නම් තේරුම් ගැනීමට වගකිවයුතු ඇත්තන්ගේ අවධානය සඳහා.
මිද්දෙණියේ දී හමුවුන ආගන්තුක ද්‍රව්‍ය සම්බන්ධ ලේඛන අනුව මේ කන්ටේනර් දෙකේ ගෙන්වා ඇත්තේ අර්ධ ලෙස සැකසූ ටැල්ක් පාෂාණයන්ය. එක් කන්ටේනරයක් තුළ උර 20ක බහාලු ටැල්ක් පාෂාණ කිලෝ ග්‍රෑම් 24600ක් සහ අනෙක් කන්ටේනරයේ උර 20ක බහාලූ කිලෝ 24400ක් ලෙස සමස්ථ කිලෝ 49000ක ප්‍රමාණයක් මෙම ටැල්ක් පාෂාණ ලංකාවට ගෙනැවිත් තිබිණි. ඒ ඉරාණයේ ඉරානයේ බන්ඩාර් අබ්බාස් (Bandar Abbas) වරායෙනි.
ටැල්ක් (මැග්නීසියම් සිලිකේට්) යනු ස්වභාවික ඛනිජයකි. එය කර්මාන්ත ගණනාවක නිශ්පාදනයන්ට පාදක කරගන්නා අමුද්‍රව්‍යයකි. හොඳින් කුඩුකරගත් පසු රසායනික ප්‍රතික්‍රියාවන්ට එක් නොවන නිශ්ක්‍රීය කුඩු වර්ගයක් ලෙස ළදරු පුයර, රූපලාවන්‍ය ද්‍රව්‍ය සකස් කිරීම ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය ටැල්ක්ය. එමෙන්ම ඖෂධ නිශ්පාදනයේ දී බොහෝ විට බෙහෙත් පෙත්තේ ඖෂධ අඩංගු පිරවුම සකස් කරන්නේ ටැල්ක්වලිනි. පිඟන් භාණ්ඩ නිශ්පාදනයේ දී ද. තීන්ත නිශ්පාදනයේ දී ද ටැල්ක් අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා වේ.
වරායේ දී මෙම ද්‍රව්‍ය සම්බන්ධව පරීක්ෂා කරන්නේ රේගුව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එකට සිටය. නයි මුගටි රාජකාරි වෛරයකින් පෙළෙන මේ දෙපාර්ශවය එකට එක්ව නිශ්චිත රාජකාරියක් කරන විට කොහොමත් වංගුවක් වැටෙන්නේ නැත. රේගුව සහතික කර ප්‍රකාශ කරන්නෙ මේ කන්ටේනර් තුළ කිසිම ආකාරයකින් මත්ද්‍රව්‍යය හෝ මත්ද්‍රව්‍ය නිස්සාරණයට අවශ්‍ය අමුද්‍රව්‍ය නොතිබුණ බවය. එමෙන්ම ඒ අවස්ථාවේ දී සිය රසායනික විමර්ශනවලින් නාකොටික් එකත් සනාථ කරන්නේ මේ කන්ටේනර් තුළ මත්ද්‍රව්‍ය හෝ මත්ද්‍රව්‍ය නිස්සාරණයට සම්බන්ධ කිසිම දෙයක් නොතිබුණ බවය.
දැන් රස පරීක්ෂක වාර්තාවේ මෙන්ම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාවන් පෙන්වා දෙන්නේ මේ ටැල්ක් පාෂාණ ආශ්‍රිතව ගත් නියැදි 20න් 17ක මෙතම්ෆිටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය හමුවන බවය. රස පරීක්ෂක වාර්තාවේ දැක්වෙන්නේ මේ පාෂාණ තුළ නොව පාෂාණ ආශ්‍රිතව ඇති සියුම් කොටස් අතර මෙතම්ෆිටමයින් ඉතා සුළු ප්‍රතිශත වශයෙන් හමුවන බවය. එමෙන්ම මේ විමර්ශනයේ දී හෙළි වන්නේ කඳානෙන් හමුවන පාෂාණා කොටස් අතර කිසි අවස්ථාවක මෙතම්ෆිටමයින් හමුවී නැති බවය. අවශ්‍ය අවස්ථාවක කුඩු පැකට් එකක් දමා විමර්ශන රටා වෙනස් කළ ඉතිහාසයක් සහිත මේ රටේ පොලිස් විමර්ශන ගැන අදහසක් ඇති අයෙකුට මේ තත්ත්වය සාධාරණ සැකයක් මතු නොකරන්නේ නම් පුදුමය.
මනම්පේරි අත් අඩංගුවට පත් නොවී පොලිසියට ඇවිත් භාරවී විමර්ශන සඳහා යන්නේ පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශයටය. අවසානයේ දී පොලිසියේ පහළම තැන්වල සිටින දේශපාලන ඇම්බැට්ටයන් විසින් මෙහෙයවූ අයිස් ප්‍රබන්ධයක් ආණ්ඩුවකට කෙළවූ බවට ඉතිහාසයේ ලියැවෙන තැනට වැඩ සකස් කර නොගැනීම මේ ආණ්ඩුවේ ඉන්න මොළේ කළඳක් ඇති උන්ගේ වගකීම බව ලියා තැබිය යුතුය.
මේ ලිපියත් කියවන්න….
ගැට පිට ගැට වැටෙන පැටලුන නූල් බෝලයක් වෙමින් ඇති අයිස් කෙළිය…







