පොලිස් සේවයේ පහළම තැන සිට පොලිස්පතිවරයා දක්වා පැමිණි ගමන තුළ පොලිසියේ සමස්ථ අත්දැකීම් ප්‍රමාණයක් ලැබූ ප්‍රථම පොලිස්පතිවරයා වූ ප්‍රියන්ත වීරසූරියට පාතාලය හා මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කරන්නට හැකි ශක්තිය ඇති බව තමන් වහන්සේලා විශ්වාස කරන බවත්, එය පොලිසියේ සියලුම ශක්තිය යොදවා නිම කළ යුතු ජාතික අවශ්‍යතාවයක් බවත් මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත අද (17) සැල කර සිටියහ.
උන්වහන්සේලා පොලිස්පතිවරයාට මේ බව දැන්වූයේ අද මල්වතු අස්ගිරි උභය පාර්ශවික මහා නායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී පොලිස්පතිවරයා අමතමිනි.
මෙහි දී අදහස් දැක්වූ පොලිස්පතිවරයා මහා නායක හිමිවරුන්ට දන්වා සිටියේ අපරාධ රැල්ල මැඩපැවැත්වීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරීමටත් විධිමත් වැඩපිළිවෙළක් මහජන සහය සහ ත්‍රිවිධ හමුදාවේ ද සහය ලබා ගනිමින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් ඇති බවය.
වෙඩි තැබීම් වලට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන බව ද ඒ ඔහු කීය.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා ඉතිහාසයක් ඇති බව පෙන්වා දුන් පොලිස්පතිවරයා මේවාට යම් යම් ආකාරයට දේශපාලන මෙන්ම පොලීස් නිලධාරීන්ගේ සහය ද ලැබුණු කාලයක් ද තිබුණු බව මහා නායක හිමිවරුන්ට පැහැදිලි කළේය.
ත්‍රිවිධ හමුදාවේ මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ද මේ සඳහා පාවිච්චි කරමින් විදේශ ගතව සිටි මේවා මෙහෙයවන පිරිසක් සිටින බවත් ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වී මේ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් පොලිස්පතිවරයා කීවේය.
විදේශ රට වලත් මොවුන්ට එක තැනක ස්ථානගත වීමට නොහැකි පසුබිමක් මේ වනවිට නිර්මාණය වී තිබෙන බවත් ඉදිරියේ දී මෙම කටයුතුවල පැහැදිලි මර්දනයක් දැකිය හැකිවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.







