ඊයේ ඉන්දියාවට ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට දඩ ලකුණු 05ක් හිමි වුනේය. ඒ ඇමරිකාව සමග පැවති තරගයේ දී ය. ක්‍රිකට් ඉතිහාසයේ ටයිම් අවුට් දැවී යෑම ඈන්ජලෝ මැතිව්ස්ට සිදුවූවා සේ පළමු දඩ ලකුණු කන්නට වූයේ ඇමරිකාවටය.
ප්‍රේක්ෂකයින් අන්දුන් කුන්දුන් කළ මේ දඩ ලකුණු කතාව කුමක් ද?.
මේ තරගාවලියට පැමිණෙද්දි අයි.සි.සී. ය නීති කිපයක් හඳුන්වා දුන්නේය. ඉන් එක් නීතියක් වූයේ පන්දු වාර දෙකක් අතර කාලය තත්පර හැටකට සීමා කිරීමය. එනම් පන්දු ඕවරයක් යවා විනාඩියක් ඇතුළත පන්දු රකිකන ක්‍රීඩකයින් ස්ථානගත වී තත්පර හැට ඇතුළත පන්දු යැවීම ආරම්භ කළ යුතු වීමය.
මේ කාල කලමණාකරණය අවස්ථා දෙකකදී නොකළහොත් ඒ පිළිබඳව අවවාදයක් සිදුකරන්නේය. තුන්වන වරත් ඒ කළමනාකරණය සිදුනොවුනහොත් පිතිකරණ කණ්ඩායමට ලකුණු 05ක දඩ ලකුණු ප්‍රමාණයක් එක් වන්නේය.
ඊයේ ඉන්දියා ඇමරිකා තරගයේ දී ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වරට එම දඩය ඇමරිකානුවන් විසින් කෑවේය.
ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම් අතර තරගය දැඩි උණුසුම් මුහුණුවරකින් පැවැත්වෙමින් තිබුණේ ඉන්දියාව අපේක්ෂා නොකළ පීඩනයත් සමගය. තරගයේ 16 වැනි ඕවරය ආරම්භයේදී ඉන්දියාවට ලකුණු 35ක් අවශ්‍යව තිබිණි. පිතිකරණයට අසීරු තණතීරුවක් තුළ පන්දු ගණනට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතුව තිබුණු මොහොතක මෙම දඬුවම් ලකුණු 05 ඉන්දියාවට ලැබිණි.
පසුව ජයග්‍රහණයේ සමීකරණය පන්දු 30කදී ලකුණු 30කට සීමා විය. ඉන්දියාව තවත් පන්දු දහයක් ඉතිරිව තිබියදී කඩුලු 7කින් ඇමරිකා එක්සත් ජනපදය පරාජය කිරීමට සමත් විය.
පැවති තත්ත්වය අනුව කඩුළු 03ක් පමණක් බිඳී සිටි ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කරන බව පැහැදිලිව පෙනුනි. කෙසේ වෙතත් මේ ලකුණු 05 නොලැබුණා නම් තවත් පන්දු ඕවරයක් ඉදිරියට තරගය ඇදෙන්නට ඉඩ තිබිණි.
ජූනි 1 වැනිදා සිට පිරිමි එක්දින සහ විස්සයි20 තරගවල ස්ථීර නීතියක් බවට මෙය පත් විය. ක්‍රීඩාව වේගවත් කිරීම සඳහා පැවැත්වූ හඳුන්වාදෙන මෙම නීතිය තරගයක විනාඩි 20ක් පමණ ඉතිරි කරන බව අයිසීසීය පවසා ඇත.
ආබාධයකට ලක්ව සිටි මොනාන්ක් පටෙල් නොමැති එක්සත් ජනපද කණ්ඩායමේ නායකත්වය දැරුවේ ආරොන් ජොන්ස්ය. නායක ආරොන් ජෝන්ස් හට සිදුවූයේ කුමක්දැයි විනිසුරුවන් පැහැදිලි කරනු දක්නට ලැබිණි.







