අමායා උඩුවැරැල්ල –
මේ වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ඔලිම්පික් පන්දම දැඩි ආරක්‍ෂාවක් මධ්‍යයේ ග්‍රීසියේ සිට ප්‍රංශයේ පැරණි වරාය නගරයක් වන මර්සෙයිල් වෙත ඊයේ (8) ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 16 වන දා ග්‍රීසියේ ඉපැරණි ඔලිම්පියා නගරයෙහි දැල්වූ ඔලිම්පික් පන්දම, අප්‍රේල් 27 වන දා බෙලෙම් නම් වසර 120 ක් පැරණි කුඹ ගස් තුනක් සහිත එෛතිහාසික වටිනාකමින් යුත් නෞකාව මගින් ග්‍රීසියේ පිරේස් නගරයෙන් පිටත් ව දින 12 කට ආසන්න ගමනකින් පසු මෙලෙස මර්සෙයිල් වරාය නගරය වෙත ළඟා වී තිබෙනවා.
මේ සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඊට 150,000 ක පමණ ජනතාවක් සහභාගිවී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
සිවුවරක් ඔලිම්පික් පදක්කම්ලාභී, ප්‍රංශ නිදහස් ආර පිහිනුම් ක්‍රීඩක ෆ්ලොරන්ට් මනවුඩෝ විසින් ඊයේ සවස ඔලිම්පික් ගිනිදැල් සහිත පන්දම නෞකාවේ සිට ගොඩබිම වෙතට ගෙන එනු ලැබූ අතර ඉන්පසු ඔහු විසින් ඔලිම්පික් පන්දම පැරාලිම්පික් ක්‍රීඩිකා නැන්ටනින් කීටා වෙත ලබා දී තිබෙනවා. ඇය විසින් එය මර්සෙයිල් නගරයේ උපත ලබා සංගීත ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම ප්‍රංශයේ රැප් ගායනය තුළින් ඉහළම ස්ථානයේ වැජඹෙන ප්‍රකට රැප් ගායක ජූල් වෙත ලබා දී තිබෙනවා. ඉන්පසු ඔහු රැස්ව සිටි විශාල ජනකාය ඉදිරියේ මර්සෙයිල් නගරයේ පැරණි වරායේ ඔලිම්පික් කැල්ඩ්‍රනය දැල්වීම සිදුකර තිබෙනවා.
මෙම අවස්ථාව වෙනුවෙන් ප්‍රංශ රජය දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර ස්නයිපර්වරුන්, සුනඛ ඒකක ඇතුළුව 6,000 කට අධික නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් යොදවා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
උළෙලේ ප්‍රධාන සංවිධායක වන ටෝනි එස්ටන්ගුවෙට් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අවස්ථාව බොහෝ කාලයක සිට බලා සිටි අවස්ථාවක් බව පවසා තිබෙනවා. ප්‍රංශයට ඔලිම්පික් උළෙලක් පැමිණෙන්නේ වසර සියයකට පසුව වීම විශේෂත්වයක්.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ මේ වසරේ ජූලි 26 වන දා සිට අගෝස්තු 11 වන දා දක්වායි.