ශ්‍රියානි විජේසිංහ –
පවුල් වෛද්‍ය විශේෂඥවරුන් මූලික රෝහල්වලට අනුයුක්ත කිරීමට විරුද්ධ වන්නේ එය සිද්ධාන්තමය වශයෙන් පවා නොගැලපෙන තීරණයක් නිසා බවත්, සෑම විෂයක්ම ආවරණය වන ආකාරයට විශේෂඥ වෛද්‍යවරුන් මූලික රෝහල්වල බාහිර රෝගී අංශවල සිටින අවස්ථාවක පවුල් වෛද්‍ය විශේෂඥවරුන් ද එහි සේවයේ යෙදවීම නිවැරදි වන්නේ මොන විද්‍යාත්මක පදනමක් නිසා දැයි විමසිය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරු ප්‍රශ්න කරති.
රුපියල් මිලියන ගණන් වැය කර පවුල් වෛද්‍ය විශේෂඥවරුන් ඇති කළේ පවුල් පොකුරු මුල්කරගෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට මිස රෝහල් සේවා ශක්තිමත් කිරීමට නොවන බව ඔවුහු පෙන්වා දෙති.
ප්‍රජා සෞඛ්‍ය සේවා හා ද්විතීය සෞඛ්‍ය සේවා සිද්ධාන්තමය මූලධර්ම මතම එකතු කළ නොහැකි බව මේ සම්බන්ධව අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසයි.
ඒ පදනම මත ප්‍රාථමික සෞඛ්‍ය අංශය ස්ථාවර කර දියුණු කිරිමේ පදනමින් පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරු පත් කළ හැක්කේ දිස්ත්‍රික් රෝහල්වලට පමණක්ම යැයි සෞඛ්‍ය අමාත්‍යංශය සමග එකඟතාවයක් පැවති බව ද එම සංගමය කියයි.
එම එකඟතාව කඩකරමින් අමාත්‍යංශය පවුල් වෛද්‍ය විද්‍යා විශේෂවරු 15 දෙනෙකු මූලික රෝහල්වෙත අනුයුක්ත කිරීමට තරයේම විරුද්ධ වන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මූලික රෝහල්වල සහ මහරෝහල්වල බාහිර රෝගී අංශයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරු සිටින බැවින් එම රෝහල්වලට පවුල් වෛද්‍ය විශේෂඥවරු පත් නොකරන බවට අමාත්‍යංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග එකඟතාවකට පැමිණි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසිීය .
බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් පරික්ෂා කර බලා අනතුරුව අවශ්‍ය ප්‍රතිකාර ලබා දිම හෝ රෝහල් ගත කිරීම බාහිර රෝගී අංශයේදිම කායික රෝග විශේෂඥවරුන් සිදුකර බැවින් රෝගීන්ට චැනලින් සේවාවන් වෙත යාමට අවශ්‍ය නොවන බව ද වෛද්‍ය චමිල සඳහන් කළේය.
කෙසේ නමුත් දැනට පුහුණුව ලබන පවුල් වෛද්‍ය විශේෂඥවරුන් කුමන හේතුවක් මත හෝ දිස්ත්‍රික් රෝහල්වලට මිස ඉන් ඉදිරියට ඇති රෝහල්වෙත අනුයුක්ත නොකළ යුතු යැයිද අමාත්‍යංශය එකඟතාව කඩනොකළ යුතු යැයිද සංගමය පෙන්වා දෙයි.