තමා කටයුතු කරන්නේ තමාගේ ක්‍රමවේදයකට අනුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා එසේ කීවේ ගම සමග පිළිසඳරක් 09 වන වැඩසටහනට එක්වෙමිනි.
මොන විවේචන පැමිණියත් තමන්ගේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත්, තමන් ජනාධිපති වුයේ මාධ්‍ය සංදර්ශන පවත්වන්ට නොවන බවත් ඔහු වැඩිදුරටත් කීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම වැඩසටහනේදී ජනාධිපතිවරයා පැවසුවේ අඩුම තරමින් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් ලෙසවත් කටයුතු නොකළ තමා ජනාධිපති වූ බවය. නිලධාරීන් ලවා ගමේ තියෙන ප්‍රශ්න නොවිමසා ගමට යන්නේ තමන්ගේම ක්‍රමයට වැඩ කරන නිසා බවය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.
“දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යැවෙන්නේ නැහැ. අපි එන්නේ ඒ ගම්මානවල ජනතාවගේ අදහස් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල කියනවා මේවා දේශපාලන නාට්‍ය, මාධ්‍ය සංදර්ශන කියලා. මේවා එහෙම ඒවා නෙමෙයි. මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා. අපි බලයේ ඉන්නකොට ජනතාව අතරට යනවා. පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්වලා දීලා තියෙනවා. මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩකරලා.
මම නගර සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා විදිහට කටයුතු කරන කොට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නගර අලංකරණය සම්බන්ධයෙන් මම වැඩකළා. අද නිදහස් චතුරශ්‍රය තියෙන විදිහ එදා එතන තිබුණු විදිහ ගැන කාටවත් මතක් නැහැ. අද උද්‍යාන හදලා, ඇවිදින මංතීරු හදලා මම ඒ ස්ථාන සංවර්ධනය කළා. ඒ පාරේ වවලා තිබුණේ විදේශ රටකින් ගෙනාපු ගස්. මම ඒවා අයින් කරා. ඒ ස්ථානවල මම නාගස් වවන්න උපදෙස් දුන්නා. අද බලන්න ඒ ගස් කොහොමද තියෙන්නේ කියලා. ගස් කැපුවා කියලත් මාව විවේචනය කළා. කාට වුනත් විවේචන කරන්න පුළුවන්. ‘
මම අඩුම තරමින් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් විදිහට ඉදලවත් නෙමෙයි ජනාධිපතිවරයා ලෙස පත්වුණේ. ගොඩක් අය අහනවා මගෙන් ඇයි ගමට යන්නේ, නිලධාරීන් ලවා ගමේ තියෙන ප්‍රශ්න ගැන දැනගන්න පුළුවන් නේද කියලා. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ.” ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.