කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා නොදීමට මූලික හේතුව ඔවුන් CICT පර්යන්තය සම්බන්ධව චීන සමාගමට ලබා දුන් සහන වරප්‍රසාද සහ ගිවිසුම් කොන්දේසිවලට සමාන අවස්ථා ඉල්ලා සිටීම හා ඉන්දීය සමාගම මෙම ගිවිසුමේ ප්‍රධාන මූල්‍යමය වගන්ති පිළිබඳව නම්‍යශීලී නොවීම යන කාරණා බව මේ පිළිබඳව පසුගියදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
ඒ අනුව මෙම ඉන්දියානු හවුල් ආයෝජනයට යාම ඵලදායී නොවන බවට මේ සම්බන්ධ සාකච්ඡා සම්මුති සඳහා පත් කළ කමිටුවේ තීරණය වූ බව ද මෙම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
කොළඹ දකුණු වරාය සංවර්ධනය- නැගෙනහිර බහලු පර්යන්තය සහ බටහිර බහලු පර්යන්තය සංවර්ධනය කිරීම සහ මෙහෙයුම් කිරීම හිසින් පසුගිය ජනවාරි 31 දාතමින් ඉදිරිපත්ව ඇති මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ තවදුරටත් සඳහන් වන්නේ නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය සහ ඉන්දියානු රජය අත්සන් කර ඇති ගිවිසුමට අනුව ඉන්දියාවේ අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් එකොනොමික් සෝන්ස් සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ගැන එම සමාගමේ නියෝජනයද සහිතව මෙම එකඟතා කමිටුව පසුගිය ජනවාරි මස 27 සහ 28 යන දෙදින සාකච්ඡා කළ බවය.
මෙහිදි අදානි සමාගම 2009 වසරේදී යෝජනාවක් වශයෙන් ඉදි කිරීමට එකඟ වූ කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) වෙනුවෙන් ලබා දුන් ගිවිසුම් නියමයන්, කොන්දේසි සහ ශ්‍රි ලංකා වරයා අධිකාරියට ගෙවිය යුතු ගාස්තු වරප්‍රසාද කොළඹ වරායේ යෝජිත නැගෙනහිර පර්යන්ත සංවර්ධනයේදී ද ලබා දිය යුතු බවට යෝජනා කොට ඇත.
එහෙත් 2009 වසර් ආර්ථික අවපාතයක් පැවැති අවස්ථාවේ චීනයෙන් මෙම ආයෝජනය පැමිණි බවත් එකල දියකඩනයේ ඉදි කිරීම් පවා සම්පූර්ණ වී නොමැති තත්ත්වයක එම දිය කඩනයේ ඉදිකිරීම්වලට සමගාමීව වරාය සංවර්ධනය කිරීමට චීන ආයෝජකයන් කැමත්ත පළ කළ බැවින් ඊට අදාළව ගිවිසුම සකස් කළ නමුත් මේ වනවිට පවතින තත්ත්ව වෙනස් බැවින් එම චීන ආයෝජකයන් සමඟ අත්සන් කළ ගිවිසුමට සමාන නියමයන් සහ කොන්දේසි සහිතව ගිවිසුම් ගත විය නොහැකි බවට මෙම එකඟතා කමිටුව අදානි සමාගමට ප්‍රකාශ කොට ඇත.
එමෙන්ම එහිදී ශ්‍රි ලංකා පාර්ශ්වය අවධාරණය කර ඇත්තේ නැගෙනහිර පර්යන්තයේ මූල්‍ය ප්‍රතිලාභ CICT පර්යන්තයට වඩා නිසැකවම වැඩිවන බැවින් එය සිදු කළ නොහැකි බවය. මේ තත්ත්වය මත වරාය අධිකාරියට සහ රජයට කළ යුතු ගෙවීම් සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයට නොහැකිව තිබේ.
මෙම තත්ත්වය මත අදානි සමගාම සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම අපහසු බවට තීරණය කොට ඇති අතර මෙම ජැටිය තනිකරම වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමටත් ඒ වෙනුවට බටහිර ජැටිය ඉදිකිරීම, පවත්වාගෙන යාම සහ පැවරීම (Built Own & Trasfer) පදනම මත ඉන්දියානු සහ ජපාන රජයයන් විසින් නම් කරනු ලබන ආයෝජකයන් වෙත සීඅයිසීටී පර්යන්තය ලබා දුන් පදනමින්ම ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරමින් මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.